පළාත් සභා මැතිවරණය: නිර්දේශ ලබා ගැනීමට කමිටුවක්

පළාත් සභා මැතිවරණය පැවැත්වීම පිළිබඳ නිර්දේශ ලබා ගැනීමට කථානායකවරයාගෙන් කමිටුවක්

by Staff writer 25-08-2018 | 6:50 AM
COLOMBO (News 1st) - පළාත් සභා මැතිවරණය පැවැත්වීම පිළිබඳ නිර්දේශ ලබා ගැනීම සඳහා අග‍්‍රාමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල කමිටුවක් පත් කිරීමට කථානායක කරු ජයසූරිය මහතා පියවර ගෙන තිබේ. ඒ අනුව පක්ෂ නියෝජිතයින්ගේ ද එකඟත්වයෙන් පංච පුද්ගල කමිටුව කථානායකවරයා විසින් ඉදිරි දින කිහිපය තුළ නම් කරනු ඇති. කථානායක කාර්යාලය නිවේදනය කළේ, අග්‍රාමාත්‍යවරයාට අමතරව පත් කරනු ලබන අනෙක් සාමාජිකයින් දේශපාලනඥයින් නොවන අදාළ ‍ ක්ෂේත්‍රය ගැන දැනුමක් ඇති බුද්ධිමතුන් වනු ඇති බව ය. පළාත් සභා මැතිවරණ කොට්ඨාස සීමා නීර්ණය කිරීමේ කමිටු වාර්තාව ඊයේ දින විවාදයට ගනු ලැබූ අතර, ඒ සඳහා සභාවේ අනුමැතිය නොලද හෙයින් ව්‍යවස්ථානුකූලව කථානායකවරයා විසින් පනතේ 4(12) වගන්තිය අනුව පියවර ගනු ලැබිය යුතු වේ. කථානායක කාර්යාලය නිවේදනය කළේ, ඒ සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු බව ය. කිසිදු හේතුවකින් පළාත් සභා මැතිවරණය කල් නොදැමිය යුතු බවට කථානායක කරු ජයසූරිය මහතාගේ අදහස වී තිබේ. පක්ෂ නායකයින්ට අමතරව කථානායකවරයා විසින් ද මැතිවරණ කොමිසමේ සභාපති හා සීමා නීර්ණ කොමිසමේ සභාපතිවරුන් සමග ඉක්මන් මැතිවරණයක් සඳහා දීර්ඝ ලෙස අදහස් හුවමාරු කර ගත් බව කථානායක කාර්යාලය පැවසුවේ ය. එම කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ, කථානායකවරයා විසින් අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නම් කරන කමිටුව අදාළ නිර්දේශ ඔක්තෝබර් මැද වන විට ලබා දෙන්නේ නම්, ජනවාරි මස පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා පූර්ණ සහය ලබා දෙන බවට අදාළ පාර්ශව එකඟ වී ඇති බව ය. නියමිත කාලයේදී ඉක්මන් මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පූර්ණ සහයෝගය ලැබෙනු ඇති බවට ද කථානායකවරයා මෙහිදී අවධාරණය කර තිබේ. නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා පැවසුවේ, කමිටුවේ සාමාජිකයින් පිළිබඳව කථානායකවරයා, අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කර ඉදිරි පියවර ගනු ඇති බව ය. පළාත් සභා සීමා නීර්ණය කමිටුවේ ලේකම් සමන් එස්. රත්නායක මහතා පැවසුවේ, කථානායකවරයා අදාළ කමිටුව නම් කිරීමෙන් පසු ඔවුන් මාස දෙකක් ඇතුළත වාර්තාවක් ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කළ යුතු බව ය. පළාත් සභා මැතිවරණ සීමා නීර්ණ කමිටු වාර්තාව ඊයේ පාර්ලිමේන්තුවේදී පරාජයට පත් විය. කමිටු වාර්තාවට විරුද්ධව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 139කි. පක්ෂව කිසිදු ඡන්දයක් නොලැබීම විශේෂත්වයකි.