ගාමිණී සෙනරත් මහතා ඇතුලු සිව්දෙනාට ඇප

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ගාමිණී සෙනරත් ඇතුලු විත්තිකරුවන් සිව්දෙනාට ඇප

by Staff writer 24-08-2018 | 12:09 PM

COLOMBO (News 1st) - හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ගාමිණී සෙනරත් මහතා ඇතුලු විත්තිකරුවන් සිව්දෙනා ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විසින් අද ඇප මත මුදා හැරිණි.

ඒ, ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500 ක මුදලක් සාවද්‍ය සාපරාදි පරිහරණය ඇතුලු අධිචෝදනා 24 ක් යටතේ පවරා තිබූ නඩුව අද පළමු වරට කැඳ වූ අවස්ථාවේදීයි. විත්තිකරුවන් මුදා හැරුණේ රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 2 ක් මතයි. ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කළ විශේෂ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාරදෙන්නැයි ද නියෝග කළේ ය. ගාමිණී සෙනරත් මහතාට අමතරව එම නඩුවේ සෙසු විත්තිකරුවන් වන්නේ පියදාස කුඩාබාලගේ, නීල් බණ්ඩාර හපුහින්න හා ලසන්ත බණ්ඩාර යන අයයි. එහිදී විත්තිකරුවන්ට අධිචෝදනා පත්‍ර භාරදුන්හ. ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500 ක මුදලක් අවසරයකින් තොරව 2014 වසරේ පෙබරවාරි 01 වැනිදා සිට 2015 වසරේ ජනවාරි 20 වන දා අතර කාලයේදී කැන්විල් හෝල්ඩින්ග්ස් හෙලන්කෝ නැමති පෞද්ගලික සමාගමේ ආයෝජනය කිරීම ඇතුලු අධිචෝදනා 24 ක් යටතේ නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට නඩු පවරන ලදි. නඩුව අද කැඳවනු ලැබුවේ සම්පත් විජේරත්න, සම්පත් අබේකෝන් සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල හමුවේ ය. ලබන 19 වන දා නඩුව යළි කැඳවීමට දින නියම කෙරුණි. මෙය බරපතළ වංචා හා දූෂණ සම්බන්ධයෙන් පවරනු ලබන නඩු විභාගය සඳහා ස්ථාපිත කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලකින් සමන්විත විශේෂ මහාධිකරණයේ පැවති පළමු නඩු විභාගයයි.