දු. වෘත්තිය සමිති අද වැටුප් කොමිසමේ සභාපති හමුවෙයි

දුම්රිය වෘත්තිය සමිති අද වැටුප් කොමිසමේ සභාපතිවරයා හමුවෙයි

by Staff writer 24-08-2018 | 7:30 AM

COLOMBO (News 1st) - වැටුප් ගැටලුව සම්බන්ධයෙන් අද වැටුප් කොමිසමේ සභාපතිවරයා හමුවී සාකච්ඡා කිරීමට නියමිත බව දුම්රිය වෘත්තිය සමිති පවසයි.

දුම්රිය පාලකවරුන්ගේ සංගමයේ සභාපති ලාල් ආරියරත්න මහතා සඳහන් කළේ, එම සාකච්ඡාවෙන් පසු අවසන් තීරණයක් ගන්නා බවය. ජනාධිපතිතුමා සමග ඊයේ පැවති සාකච්ඡාව ද එකඟතාවයකින් තොරව අවසන් වූ බව ඔහු සඳහන් කළේ ය. දුම්රිය සේවකයින්ගේ වැටුප් විෂමතා සම්බන්ධයෙන් එම සාකච්ඡා පැවැත්වූයේ ජනාධිපති කාර්යාලයේදී යි. සාකච්ඡා අසාර්ථකවීමත් සමග ඉදිරි වෘත්ති ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා දුම්රිය වෘත්තිය සමිති විධායක කමිටු නියෝජිතයින් ද ඊයේ පස්වරුවේ රැස් විය. පසුගිය 8 වන දා පෙර දැනුම් දීමකින් තොරව දුම්රිය සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනය අවසන් කෙරුණේ ජනාධිපතිතුමා මැදිහත්ව ගැටලු නිරාකරණය කරන බවට දුන් පොරොන්දුවකට අනුවයි. මේ අතර රාජ්‍ය අංශයේ වැටුප් සමාලෝචනය කර ජාතික වැටුප් ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා ජනාධිපතිතුමාගේ නියෝග මත මේ වන විට විශේෂ කොමිසමක් පත් කර තිබේ. සාමාජිකයින් 15 දෙනෙකුගෙන් යුත් එම කමිටුවේ සභාපතිත්වය දරන්නේ එස්. රනුග්ගේ මහතායි.