ගෝඨාභයට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩු

ගෝඨාභය රාජපක්ෂ ඇතුළු 7 දෙනෙකුට එරෙහිව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩු පවරයි

by Staff writer 24-08-2018 | 4:07 PM
COLOMBO (News 1st) - හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 7 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අද පස්වරුවේ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබී ය. ඒ, තංගල්ල වීරකැටිය මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් අධිචෝදනා ගොනු කරමිනි. මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ඒ සම්බන්ධයෙන් විමර්ශන කර ඉදිරිපත් කළ වාර්තා සලකා බැලූ නීතිපතිවරයා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ලංකා ඉඩම් ගොඩකිරීම් හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති ප්‍රසාද් හර්ෂාන් ද සිල්වා, එම සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරී බද්‍රා උදුලාවතී කමලදාස ඇතුළු විත්තිකරුවන් 7 දෙනාට එරෙහිව නඩු පවරා තිබේ. මෙය විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පැවරූ දෙවන නඩුවයි.