ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Hashini De Mel 24-08-2018 | 7:10 AM

දේශීය පුවත්

1. හිටපු ආරක්ෂක ලේකම්වරයා අධිකරණයට ගෙන්වීම වළක්වමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක්: හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධ නඩු විභාගයක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ පැවැත් විය. ඒ, තංගල්ල මැද මුලන ඩි. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයේ මුදල් අවභාවිත කළේ යැයි චෝදනා කරමින් පවරා තිබූ නඩුවේ සැකකරුවන් වන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 7 දෙනෙකුට ලබන සැප්තැම්බර් 7 වන දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේදී නිකුත් කර තිබූ සිතාසි නියෝග වහාම ආපසු කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කර ඇත. 2. දුම්රිය සේවකයින් යළි වැඩ වර්ජනයකට එළැඹෙයි ද?: දුම්රිය සේවකයින්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡා අසාර්ථක වූ බව දුම්රිය වෘත්තීය සමිති පවසා තිබේ. ඔවුන් මේ බව පවසා ඇත්තේ, ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. 3. පෞද්ගලික රෝහල් මිල ලබන සතියේ නියාමනය කරන බව සෞඛ්‍ය ඇමති කියයි: පෞද්ගලික රෝහල් මිල නියාමනය ලබන සතියේ සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ඒ යටතේ විවිධ අයකිරීම් 53 ක මිල නියාමනය කරන බව ය. 4. මහින්දානන්දට විදෙස්ගත වීමට අධිකරණයෙන් අවසර: හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට ලබන 9 වන දා සිට 17 වන දා දක්වා විදේශගත වීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා අවසර ලබාදී තිබේ. මන්ත්‍රීවරයා චීනයේ පැවැත්වෙන මන්ත්‍රීවරුන්ගේ සමුළුවකට සහභාගී වීමට අවශ්‍ය බවට කළ ඉල්ලීමක් සලකා බැලූ විනිසුරුවරයා එම නියෝගය කළේ ය. 5. තමාට එරෙහි වරෙන්තුවේ හා චෝදනාවල පිටපත් දෙන්නැයි අර්ජුන මහේන්ද්‍රන් ජාත්‍යන්තර පොලීසියෙන් ඉල්ලයි: හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීමට නිකුත් කර ඇති වරෙන්තු නියෝගය සම්බන්ධයෙන් ගෙන ඇති පියවර පිළිබඳව මීළඟ නඩු දිනයේදී වාර්තා කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නීතිපතිවරයාට නියෝග කර තිබේ. කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය දැනුම් දුන්නේ, අර්ජුන මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකාවට පිටුවහල් කර ගැනීම සඳහා ගෙන ඇති නීතිමය පියවර පිළිබඳව එහිදී දැනුම් දෙන ලෙස ය. 6. මහජන බැංකු අධ්‍යක්ෂ ජෙහාන් අමරතුංගගෙන් රු. ලක්ෂ 34ක බදු පැහැර හැරීමක්: ජෙහාන් අමරතුංග නමැත්තා අධ්‍යක්ෂ ධූරයක් දරණ එම්.ටී.ඩී. වෝර්කර්ස් සමාගමට අනුබද්ධ සමාගමකින් රජයට අය විය යුතු රුපියල් ලක්ෂ 34ක බදු මුදල් ගෙවීම් පැහැර හැර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර මහතා පවසයි. මේ ගැන කළ විමසීමකදී මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේ, අධ්‍යක්ෂකවරුන් තමන් තනතුරු දරණ බැංකුවෙන් ණය ලබා ගැනීමට බාධාවක් නැති බව ය. 7. විශේෂ පුද්ගලයින්ගේ ජංගම දුරකතනවලට අවහිරතා සිදු වීම පිටුපස ඇත්තේ කුමක් ද?: මෙරට මාධ්‍ය ආයතන ප්‍රධානීන් රැසකගේ ජංගම දුරකතනවල ඊයේ උදෑසන සිට අවහිරතා සිදු වූ බවට තොරතුරු වාර්තා වේ. පසුගිය 8 වන දා ඩේලි මිරර් පුවත්පත වාර්තා කර තිබුණේ, ආණ්ඩුව තෝරා ගත් විශේෂ පුද්ගලයින්ගේ දුරකතන සංවාදවලට සවන් දීම හා නිරීක්ෂණය කිරීම ආරම්භ කර ඇති බවයි. වි‍දෙස් පුවත් 8. “රහස් හෙළි කිරීමට සූදානම්”- මයිකල් කොහේන්ගෙන් ට්‍රම්ප්ට අනතුරු අඟවීමක්: අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රහස් හෙළි කිරීමට සූදානම් බව ඔහුගේ හිටපූ පෞද්ගලික නීතිඥ මයිකල් කොහේන් පවසයි. ඔහු වැඩිදුරටත් කියා සිටියේ අමෙරිකානු ජනාධිපතිවරණයට රුසියාව මැදිහත්වීම සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශන සඳහා සහයදීමට කැමති බව ය.