by Staff writer 24-08-2018 | 8:20 PM
COLOMBO (News 1st) - ජනතාව හමු වී ජනතා ගැටලු හඳුනා ගැනීම සඳහා ක්‍රියාත්මක වූ ගම්මැද්ද ගෙයින් ගෙට වැඩසටහනේ 3 වන අදියර ඇරඹීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබේ.
අද ඒ පිළිබඳව මහ නාහිමිවරුන් ඇතුළු ආගමික නායකයින් දැනුවත් කෙරිණි.
ගම්මැද්ද දීප ව්‍යාප්ත ගෙයින් ගෙට වැඩසටහනේ 3 වන අදියර පිළිබඳව අද පෙරවරුවේ අස්ගිරි මහා විහාරයේදී සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහ නාහිමියන් බැහැ දැක දැනුවත් කිරීම සිදු විය.
මෙවරත් ගම්මැද්ද ගෙයින් ගෙට දීප ව්‍යාප්ත සමීක්ෂණය සඳහා සහය වන පේරාදෙණිය විශ්වවිද්‍යාලය වෙනුවෙන් ආචාර්ය තිලක් බණ්ඩාර සහ සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ සමූහ අධ්‍යක්ෂ ශෙවාන් ඩැනියෙල් මහතා ප්‍රමුඛ නිව්ස්ෆස්ට් නියෝජිතයෝ ඒ සඳහා එක්ව සිටියහ.
අනතුරුව පිරිස සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහ නාහිමියන් බැහැ දුටුවේ ය.
මෙහිදී ගම්මැද්ද ගෙයින් ගෙට ගමන් මාර්ගය පිළිබඳව ද මහ නාහිමියන් දැනුවත් කෙරිණි.
ගම්මැද්ද ගෙයින් ගෙට දීප ව්‍යාප්ත වැඩසටහන ලබන 28 වන දා ආරම්භ වන අතර එහිදී රැස් කරන දත්ත උපයෝගී කර ගනිමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලය සමග එක්ව විශේෂ වාර්තාවක් සකස් කිරීමට නියමිත ය.