විගණකාධිපති වැටුප: එ.ජා. සංවිධානයට යාමේ සූදානමක්

විගණකාධිපතිවරයාගේ වැටුප අනුමත නොකිරීමට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානයට පැමිණිලි කිරීමේ සූදානමක්

by Staff writer 24-08-2018 | 7:34 PM
COLOMBO (News 1st) - විගණකාධිපතිවරයාගේ වැටුප පාර්ලිමේන්තුවේ අනුමත නොකිරීමට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානයට පැමිණිලි කරන බව විගණන සේවා සංගමය පවසයි. මේ අතර රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ, රාජ්‍ය ආයතනවලට ඉහළ නිලධාරීන්ට ඉහළ වැටුප් ලබා දිය යුතු බව ය. පාර්ලිමේන්තුවේ එවැනි සංවාදයක් තිබුණ ද වත්මන් විගණකාධිපතිවරයා අදාළ තනතුරට පත්ව අද වන විට වසර 3ක් ගත වී තිබුණත් මෙතෙක් තනතුරට අදාළ වැටුප පාර්ලිමේන්තුවේ සම්මත වී නොමැත. ආදාළ වැටුප් යෝජනාව පාර්ලිමේන්තුව තුළ වසර කිහිපයක් කල් දමමින් තිබී එම යෝජනාව ඊයේ ඉවත් කර ගන්නා බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේ ය. අද විගණන සේවා සංගමය මේ පිළිබඳව අදහස් පළ කරමින් පැවසුවේ, මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට පැමිණිලි කරන බව ය. වසර තුනකට ආසන්න කාලයක සිට විගණකාධිපතිවරයාගේ වැටුප හා දීමනා අනුමත නොකළ ද ඇතැම් රාජ්‍ය ආයතනවල ආණ්ඩුවේ හිතවතුන්ගේ වැටුප් පිළිබඳ ඊයේ පාර්ලිමේන්තුවේදී අනාවරණය විය. සුනිල් හඳුන්නෙත්ති - පා. ම ජනතා විමුක්ති පෙරමුණ "මහජන බැංකුවේ සාමාන්‍යාධිකාරීවරයා වසර හැට සම්පූර්ණ වුණාට පස්සෙත් තවත් වසරක සේවා දිගුවක් ඉල්ලීමක් කරලා තිබුණා. නමුත් එම්. වසන්ත කුමාර කියන ඒ සාමාන්‍යාධිකාරීවරයා 2001 දී ඇවිත් තියෙන්නේ කොන්ත්‍රාත් පදනමින් ලක්ෂෙ වැටුපට. මේ වෙන කොට ලක්ෂ 21 ලබන කෙනෙක්. හිඟ වැටුප් වර්ධකයක් අරගෙන තියනවා. හිටපු සාමාන්‍යාධිකාරීවරයාටත් අදාළ වෙන විදියට ලක්ෂ 750ක් ඒ කාල සීමාවට." එපමණක් නොව මහජන බැංකුවේ අධ්‍යක්ෂ ධූරයක් දරණ ජෙහාන් අමරතුංග නමැත්තා තම සමාගමකට රුපියල් බිලියන 10ක ණයක් එම බැංකුවෙන් ලබා ගත් බව ද පසුගියදා අනාවරණය විය. රජයට හිතවත් පුද්ගලයින්ගේ එවැනි අක්‍රමිකතා පැවතුන ද ඔවුන්ට වැටුප් ගෙවීම අත්හිටුවීම හෝ තනතුරුවලින් ඉවත් කිරීමට පාලකියින් මෙතෙක් පියවර ගෙන නොමැත.