ගෝඨාභය අධිකරණයට ගෙන්වීම වළක්වමින් නියෝගයක්

හිටපු ආරක්ෂක ලේකම්වරයා අධිකරණයට ගෙන්වීම වළක්වමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක්

by Staff writer 23-08-2018 | 10:37 PM
COLOMBO (News 1st) - හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධ නඩු විභාගයක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී අද පැවැත්විණි. තංගල්ල මැද මුලන ඩි.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයේ මුදල් අවභාවිත කළේ යැයි චෝදනා කරමින් පවරා තිබූ නඩුවේ සැකකරුවන් වන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 7 දෙනෙකුට ලබන සැප්තැම්බර් 7 වන දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේදී නිකුත් කර තිබූ සිතාසි නියෝග වහාම ආපසු කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද පස්වරුවේ නියෝග කළේ ය. මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ගොනු කළ නඩුවක් සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා මහත්මිය විසින් පසුගිය ජූලි 20 වන දා එම සිතාසි නියෝග නිකුත් කර තිබිණි. කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය විසින් නිකුත් කර තිබූ එම සිතාසි නියෝග නෛතික වශයෙන් විශාල වරදක් බවත්, අභියාචනාධිකරණ විසින් නිකුත් කර ඇති නියෝග කඩ කිරීමක් බවක් පෙන්වා දුන් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ලෙස ඔහුට හිමි බලතල අනුව එම සිතාසි නියෝග වහාම අවලංගු කිරීමට නියෝග කළේ ය.