සිංගප්පූරු ගිවිසුම:පරස්පර විරෝධී පැහැදිලි කිරීමක්

සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම ගැන රජයේ පැහැදිලි කිරීම් සම්පූර්ණයෙන්ම පරස්පර විරෝධීයි - වෘත්තීයවේදීන්ගෙන් චෝදනා

by Staff writer 23-08-2018 | 9:27 PM
COLOMBO (News 1st) - සිංගප්පූරු - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දීර්ඝ පැහැදිලි කිරීමක් කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ, ලිපි ශීර්ෂ හෝ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතාගේ අත්සනින් ද තොරව ය. සිංගප්පූරු ගිවිසුම පිළිබඳව ඇත්ත නැත්ත යනුවෙන් ඊයේ දිනයේ මාධ්‍ය වෙත නිකුත් කළ අදාළ නිවේදනය මගින් කරුණු කිහිපයක් කෙරෙහි අවධානයට යොමු කර තිබේ. ලිපි ශීර්ෂ හෝ වගකිව යුතු නිලධාරියෙකුගේ අත්සනින් තොරව නිකුත් කර තිබූ අදාළ නිවේදනය පිළිබඳව නිව්ස්ෆස්ට් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් විමසා සිටි අතර එහිදී ඔවුන් සඳහන් කළේ, අදාළ නිවේදනය ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යංශය කළ ඉල්ලීමකට අනුව මාධ්‍යය වෙත එවූ බව ය. සිංගප්පූරු - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳව මෙරට විද්වතුන්ගේ හෙළිදරව් කිරීම් හමුවේ මෙම නිවේදනය මාධ්‍ය වෙත නිකුත් කර ඇති බව එම නිවේදනයේ අන්තර්ගත කරුණුවලින් පෙනී යයි. අදාළ නිවේදනය සම්බන්ධයෙන් අද පැවැති මාධ්‍ය හමු කිහිපයකදී ද අදහස් පළ විය. මෙහිදී අදහස් පළ වූයේ, සිංගප්පූරු - ශ්‍රී ලංකා වෙළෙඳ ගිවිසුම ගැන රජයේ පැහැදිලි කිරීම් සම්පූර්ණයෙන්ම පරස්පර විරෝධී බව ය. මේ අතර සිංගප්පූරු - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් එල්ල වන ප්‍රධාන චෝදනාවක් වනුයේ ගිවිසුම හරහා කැළි කසළ, සායනික අපද්‍රව්‍ය, න්‍යෂ්ටික අපද්‍රව්‍ය වැනි අපද්‍රව්‍ය ලංකාවට ආනයනය කිරීමට ඉඩ සලසා තිබීම පිළිබඳව යි. කෙසේ වෙතත් ඊයේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවේදී ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා එම චෝදනා යළිත් ප්‍රතික්ෂේප කළේ ය. ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා එසේ පැවසුව ද විද්වතුන් දිගින් දිගටම පෙන්වා දෙන්නේ, මෙම ගිවිසුම හරහා මෙරටට විවිධ අපද්‍රව්‍ය බාධාවකින් තොරව ගෙන ඒමට අවකාශය පවතින බව ය. එමෙන් ම එලෙස ආනයනය කරන විවිධ වර්ගයේ කසළ මෙරටදී කුමන කටයුත්තක් වෙනුවෙන් යොදවන්නේ ද යන්නත් මේ වන විට අපහැදිලි ය. ලෝක වෙළෙඳ සංවිධානයේ මෙරට හිටපු නිත්‍ය නියෝජිතයෙකු මෙන් ම ජාතික වෙළෙඳ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් මෙරට හිටපු උපදේශකවරයෙකු වන ගෝමී සේනාධීර මහතා පෙන්වා දෙන්නේ, මෙම ගිවිසුම හරහා ශ්‍රී ලංකාවට බරපතල ගැටලු රැසකට මුහුණ දීමට සිදු වනු ඇති බවට ය. මෙරට සිදු වූ මහා පරිමාණ වංචාව බැඳුම්කර වංචාව කුඩා දරුවෙකු පවා මේ වන විට දන්නා කරුණකි. පාර්ලිමේන්තුවේදී බැඳුම්කර විවාදය පැවති අවස්ථාවේදී සුමන්තිරන් මන්ත්‍රීවරයා සඳහන් කළේ, දෙමළ පිටපතක් නොමැති නිසා විවාද කළ නොහැකි බව ය. නමුත් සිංගප්පූරු - ශ්‍රී ලංකා ගිවිසුමේ සිංහල හෝ දෙමළ පිටපතක් මෙතෙක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැත. එම කරුණ ගැන මන්ත්‍රීවරයා සලකා නොබැලුවේ ඇයි ? මෙයින් හෙළි වන්නේ එකම විදිහට හිතන අගමැතිවරයාගෙත්, සුමන්තිරන් මන්ත්‍රීවරයාගෙත් වංක ක්‍රියාකලාපය නොවේ ද ? ජනාධිපතිතුමනී, බැඳුම්කර ජනාධිපති විමර්ශන කොමිසම පත් කළේ ඔබතුමන් ය. ඉන් හෙළිදරව් වූ කරුණු පිළිබඳව ගත් ක්‍රියාමාර්ග ගැන ජනතාවගේ පැහැදීමක් නොමැත. ඔබතුමන් මේ සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක සිටිය යුතු යි.