ආණ්ඩුව විශේෂ පුද්ගලයින්ගේ දුරකතන සංවාද නිරීක්ෂණයක

විශේෂ පුද්ගලයින්ගේ ජංගම දුරකතනවලට අවහිරතා සිදු වීම පිටුපස ඇත්තේ කුමක් ද?

by Staff writer 23-08-2018 | 8:33 PM
COLOMBO (News 1st) - මෙරට මාධ්‍ය ආයතන ප්‍රධානීන් රැසකගේ ජංගම දුරකතනවල අද උදෑසන සිට අවහිරතා සිදු වූ බවට තොරතුරු වාර්තා වේ. පසුගිය 8 වන දා ඩේලි මිරර් පුවත්පත වාර්තා කර තිබුණේ, ආණ්ඩුව තෝරා ගත් විශේෂ පුද්ගලයින්ගේ දුරකතන සංවාදවලට සවන් දීම හා නිරීක්ෂණය කිරීම ආරම්භ කර ඇති බව ය. ඊට අදාළ විශේෂ ඒකකයක් නුගේගොඩ ප්‍රදේශයේ පිහිටුවා ඇති බව ද එම වාර්තාවේ සඳහන් ය. මේ අතර පසුගිය 8 වන දාම මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කළේ ය. ඩේලි මිරර් පුවත්පත් වාර්තාවට අනුව නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යටතේ අදාළ දුරකතන සංවාද නිරීක්ෂණය සිදු වන බව සඳහන් ය. ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් හා මාධ්‍ය ප්‍රධානීන්ගේ දුරකතන සංවාදවලට ඇහුම්කන් දීමට හා නිරීක්ෂණයට විශේෂ උපකරණ කට්ටල ජපානයෙන් ගෙන්වා ඇති බව ද ඩේලි මිරර් පුවත්පත වාර්තා කළේ ය. මෙලෙස විශේෂ පුද්ගලයින්ගේ ජංගම දුරකතන අවහිරතා සිදු වීම සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබෙමින් පවතින බව ද වාර්තා වේ.