මහේන්ද්‍රන් ජාත්‍යන්තර පොලීසියෙන් ඉල්ලීමක් කරයි

තමාට එරෙහි වරෙන්තුවේ හා චෝදනාවල පිටපත් දෙන්නැයි අර්ජුන මහේන්ද්‍රන් ජාත්‍යන්තර පොලීසියෙන් ඉල්ලයි

by Staff writer 23-08-2018 | 7:11 PM
COLOMBO (News 1st) - හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීමට නිකුත් කර ඇති වරෙන්තු නියෝගය සම්බන්ධයෙන් ගෙන ඇති පියවර පිළිබඳව මීළඟ නඩු දිනයේදී වාර්තා කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නීතිපතිවරයාට නියෝග කළේ ය. කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය දැනුම් දුන්නේ, අර්ජුන මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකාවට පිටුවහල් කර ගැනීම සඳහා ගෙන ඇති නීතිමය පියවර පිළිබඳව එහිදී දැනුම් දෙන ලෙස ය. මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධ නඩුව අද විභාගයට ගත් අවස්ථාවේදී අධිකරණය මේ බව දැනුම් දුන්නේ ය. එහිදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය ප්‍රකාශ කළේ, අර්ජුන මහේන්ද්‍රන් මහතාට එරෙහිව ඇති වරෙන්තුව හා චෝදනා සම්බන්ධයෙන් වන පිටපත් ලබා දෙන ලෙසට ජාත්‍යන්තර පොලීසිය හරහා ඉල්ලීමක් කර ඇති බව ය. මේ සම්බන්ධයෙන් අධ්‍යයන කරමින් සිටින බවත් එය නීතිමය ඉල්ලීමක් ද නැද්ද යන්න ඉදිරියේදී තීරණය කරන බවත් නීතිපති දෙපාර්තමේන්තුව මෙහිදී කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේ ය. නීතිපති දෙපාර්තමේන්තුව අද නඩුවේදී ප්‍රකාශ කළේ, පර්පෙවුචල් ට්‍රෙෂරීස් සමාගමට අයත් බව කියන රුපියල් බිලියනයක මුදල ආපසු දෙන ලෙසට ශ්‍රී ලංකා මහ බැංකුවට නියෝග කරන්නැයි විත්තියේ නීතිඥවරුන් කළ ඉල්ලීමට විරුද්ධත්වය දක්වන බව ය. ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කරන මුවාවෙන් එම සමාගමට අයත් අතිශය රහස්‍ය තොරතුරු ලබා ගැනීමේ උත්සහයක නිරතව ඇති බව ය. කිසිදු සමාගමක පෞද්ගලික රහස්‍ය තොරතුරු ලබා ගැනීමේ අවශ්‍යතාවක් විමර්ශන නිලධාරීන්ට නොමැති බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය එහිදී අධිකරණයට පෙන්වා දුන්නා ය. ඇය කියා සිටියේ, මහ බැංකු බැඳුම්කර වංචාවෙන් උපයා ගත් මුදල් තුන්වන පාර්ශවවලට ලබා දීම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෙළි වන පෞද්ගලික තොරතුරු අනාවරණය නොකෙරෙන බව ය. අපරාධ නඩුවක් ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය විමර්ශන සිදු කිරීමේ අයිතිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඇති බවත් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ නීතිඥවරයා පෙන්වා දෙන කරුණුවලට වඩා ඉතාමත් රහසිගත තොරතුරු ඔස්සේ පවා විමර්ශන කිරීමේ අයිතිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඇති බව මහේස්ත්‍රාත්වරිය එහිදී පෙන්වා දුන්නා ය. මේ අතර අද නඩුව විභාගයට ගනිමින් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළ කසුන් පාලිසේන යන මහත්වරුන් ලබන 30 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.