බලාපොරොත්තු කඩවූ ශ්‍රී ලංකා කණ්ඩායම් 10ක් විසිවෙයි

කණ්ඩායම් 10ක් බලාපොරොත්තු සුන් කර ගනිමින් ඉවතට විසි වෙයි

by Nadeeshan Meedin 23-08-2018 | 2:58 PM
ඉන්දුනීසියාවේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩා 8කට සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බහුතරයකට බලාපොරොත්තු වූ දක්ෂතා අතරට පැමිණීමට නොහැකිව තිබේ. ඒ අනුව තරගාවලියේ පස්වැනි දිනය වන විට කණ්ඩායම් 8කට තරගාවලියෙන් ඉවත් වීමට සිදුව ඇත. ඒකල හා කණ්ඩායම් වශයෙන් පැවති මෙම ක්‍රීඩා 8 සඳහා සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බොහෝ දෙනා පළමු වටයෙන්ම ඉවත් වීම විශේෂත්වයක් විය.

බර ඉසිලීම

පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ දී, පදක්කම් තුනක් දිනාගත් බර ඉසිලීමේ කණ්ඩායමට ආසියානු ක්‍රීඩා උළෙලේ දී බලාපොරොත්තු සුන් කර ගනිමින් නැවත සිය රට බලා පැමිණීමට සිදුව තිබේ. ක්‍රීඩකයින් දෙදෙනෙකු හා ක්‍රීඩිකාවන් දෙදෙනෙකු මෙවර සහභාගී වූවද ඉන් තිදෙනෙකුටම තරගය සාර්ථකව අවසන් කිරීමේ අවස්ථාව අහිමි විය. හංසිනී ගෝමස්ට හා තිලංක පළඟසිංහට ස්නැච් ක්‍රමයෙන් මූලික බර ප්‍රමාණය තෙවරක් උත්සාහ කිරීමෙන් පසුවත් සාර්ථක කර ගැනීමට නොහැකි විය. පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ රිදී පදක්කම දිනා ගත් ඉන්දික දිසානායක ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට මූලික බර ප්‍රමාණය සාර්ථකව එසවීමට අපොහොසත් වීම මත ඉවත් වීමට සිදුවිණි. මෙහිදී කණ්ඩායමේ ගෞරවය රැකගත් චමරි වර්ණකුලසූරිය කිලෝග්‍රෑම් 53 ට අඩු බර පන්තියට ඉදිරිපත් වෙමින් ක්ලීන් ඇන් ජර්ක් ක්‍රමයට කිලෝග්‍රෑම් 96 ක බරක් ඔසවමින් ශ්‍රී ලංකා වාර්තාව අලුත් කිරීමට සමත් වූවාය. ඇය එසවූ සමස්ත බර ප්‍රමාණය වූ කිලෝග්‍රෑම් 169 අනුව ඇයට හිමි වූයේ තරගයේ 10 වැනි ස්ථානය යි.

මල්ලවපොර

එක් ක්‍රීඩකයෙකු මීට සහභාගී වූ අතර ඔහුට මූලික වටයේදී පළමු වටයෙන්ම ඉවත් වීමට සිදු වූයේ තරගාවලියේ පළමු දිනය ආරම්භ වීමත් සමගයි.

ටෙනිස්

මෙවර ක්‍රීඩකයින් දෙදෙනෙකු හා ක්‍රීඩිකාවන් දෙදෙනෙකු සහභාගී වූ අතර, අවසන් ක්‍රීඩිකාවන් 64 දෙනොගේ වටයේදී අනීකා සෙනෙවිරත්න මොගෝලියානු ක්‍රීඩිකාවක පරාජය කරමින් අවසන් 32 අතරට පිවිසීමට සමත් වුවද ඇයට එම තරගයෙන් පරාජය වීමට සිදු විය. මීට පිරිමි කේවල අංශයෙන් සහභාගී වූ තිවංක ශාමෙල් ද මාලදිවයින් ක්‍රීඩකයෙකු අවසන් 64 වටයේදී පරාජය කරමින් අවසන් 32 වටයට පිවිසියේ ය. නමුත් ඔහුට ද අනීකාට මෙන්ම එම වටයේදී පරාජය වීමට සිදු වූයේ එක් වටයක් හෝ ජය ගැනීමේ අවස්ථාව නොලබමිනි. සෙස්සන් වූ යසිත් ද සිල්වා හා අංජලිකා කුරේරාට කේවල ඉසව්වෙන් පළමු වටයෙන්ම දරුණු පරාජයන්ට මුහුණ දීමට සිදු වූහ. ටෙනිස් කණ්ඩායම පිරිමි යුගල, කාන්තා යුගල හා මිශ්‍ර යුගල ඉසව් සඳහා ද ඉදිරිපත් වුවද, එහිදී ද ඔවුන්ට අත්වූයේ පළමු වටයේදීම පරාජය භාර ගැනීමට ය.

ටයිකොන්ඩෝ

මෙවර ටයිකෝන්ඩෝ ඉසව්වට ක්‍රීඩකයන් තිදෙනෙකු හා ක්‍රීඩිකාවන් තිදෙනෙකු සහභාගී වුවත් ඉන් 5 දෙනෙක්ටම පළමු වටයෙන්ම ඉවතට විසි වීමට සිදු වූහ. ඉන් එක් ක්‍රීඩිකාවක තරගයෙන් ඉවත්ව ඇති අතර අනෙක් සියලු දෙනා පරාජයට පත් වූහ. අද පැවති කිලෝග්‍රෑම් 49ට අඩු බර පන්තියේ අවසන් 16 අතර තරගයකදී කුමුදු කල්පනී පකිස්ථාන ක්‍රීඩකාවක 28-14 ක් ලෙස පරාජය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා ය. ඇය එම තරගය ද ජය ගත්තේ නම් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට අවස්ථාව තිබුණ ද, එම වටයේදී ඇයට ජපාන ක්‍රීඩකාවක හමුවේ දැවැන්ත පරාජයකට මුහුණ දීමට සිදු වූවාය.

කබඩි

කබඩි ක්‍රීඩාවෙන් සාධනීය වෙනසක් සිදු කිරීමට කාන්තා කණ්ඩායම උත්සහ කළ ද ඔවුනට ද සිදු වූයේ පළමු වටයෙන් ඉවතට විසි වීමටයි. පළමු තරගයේදීම තායිලන්තය හමුවේ පරාජය වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්, ඉන්දුනීසියාව හා ජපානය පරාජය කරමින් පදක්කමක් ලබා ගැනීමේ බලාපොරොත්තු ඉහළ නංවා ගත්තා ය. කෙසේ වෙතත් මූලික යටයේ අවසන් තරගයේදී ප්‍රබල ඉන්දියාව හමුවේ දැවැන්ත පරාජයක් හිමි කර ගත් ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියෙන් ඉවත් වීමට සිදු විය. මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව පළමු තරගයේදී ආබාධයකට ලක් වීමෙන් රෝහල්ගත කල බවට ද වාර්තා විය. නමුත් පසුව වාර්තා වූයේ ඇය ආබාධය සහිතව තරගයට සහභාගී වී ඇති බව ය. කබඩි පිරිමි කණ්ඩායම මූලික වටයේ සහභාගී වූ තරග 4න් ජය ගත්තේ එක් තරගයක් පමණි. ඔවුහු තායිලන්තය පරාජය කළ ද ඉන්දියාව, බංග්ලාදේශය හා කොරියාව හමුවේ පරාජයට පත් වූහ. මෙවර පදක්කමක් දිනා ගැනීමේ වැඩි අවධානයකින් සහභාගී වූ කබඩි කණ්ඩායමට බලාපොරොත්තු සුන් කර ගැනීමට සිදුවීම හේතුවෙන්, එම සංගමේ සභාපති අනුර පතිරණ මහතා ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව ද වාර්තා වේ.

බීච් වොලිබෝල්

අතීතයේ ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු මට්ටමේදී දක්ෂතා දැක් වූ මෙම ක්‍රීඩාවට මෙවර එක් කණ්ඩායමක් පමණක් ඉදිරිපත් විය. අසංක ප්‍රදීප් කුමාර හා ශෂිමාල් යාපා සහභාගී වූ මෙම තරගාවලියේ ශ්‍රී ලංකාවට පරාජය කළ හැකි වූයේ දකුණු කොරියාව පමණි. කසක්ස්තානය හා කටාර් කණ්ඩායම් හමුවේ පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු වටයෙන්ම නැවති සිය රට බලා පැමිණීමට සිදුව ඇත.

වුෂූ

  මෙවර වුෂූ ක්‍රීඩාවේ සන්දා ඉසව්වට ක්‍රීඩකාවක් හා ක්‍රීඩකයෙක් පමණක් සහභාගී වූහ. එහිදී මධුමාලී වීරසිංහට පළමු වටයෙන් ඉවත් වීමට සිදු වූ අතර නිපුන බලවර්ධනට පදක්කමක් හිමි කර ගැනීමේ මහඟු අවස්ථාවක් ගිලිහී ගියේ ය. සුපිරි 16 වටයේදී ලාඕස් ක්‍රීඩකයෙකු පරාජය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසි නිපුන, එම වටයේදී වියට්නාමයේ 19 හැවිරිදි ක්‍රීඩකයෙකු හමුවේ පරාජයට පත් විය. නිපුන එම වටය ජය ගත්තේ නම් ඔහුට ලෝකඩ පදක්කම හිමි වන අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව තිබිණි.

ස්කෝෂ්

මෙවර ක්‍රීඩකයින් දෙදෙනෙකු හා ක්‍රීඩිකාවන් දෙදෙනකු මීට සහභාගී වුවද තරගාවලිය සංචාරයක් පමණක් කර ගත් ඔවුහු ස්කොෂ් තරග පැවති පළමු දිනයේදී පළමු වටවලදීම වට 3-0 ලෙස කේවල ඉසව්වලදී පාරාජය වූහ. මෙවර රවිඳ ලක්සිරි, මොහොමඩ් වකීල්, මිහිලියා මෙත්සරණි හා නවුෂාඩ් ඉසඩීන් සහභාගී වූහ.

ඔරු පැදීම

ක්‍රීඩා උළෙලේ ඔරු පැදීමේ තරග සඳහා සිව් දෙනෙකුගෙන් යුක්ත කණ්ඩායමක් මෙවර සහභාගී වේ. කණ්ඩායම් ඉසව්වට පමණක් සහභාගී වන මොවුන් මූලික වටයේදී හිමි කර ගත්තේ, කණ්ඩායම් අටෙන් 8 වන ස්ථානය යි. එහිදී ජය වාර්තා කළ පළමු කණ්ඩායම් දෙක අවසන් තරගයට සුදුසුකම් ලබා ගත් අතර  පරාජිත කණ්ඩයම් 6 අතර පැවති තරගයෙන් ද  ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වූයේ, අවසන් ස්ථානය වේ. මේ වන විට ශ්‍රී ලංකාව අවසන් කණ්ඩායම් දෙක අතර පැවැත්වෙන තරගයට සහභාගී වනු ඇත.

දුනු විදීම

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වදින එකම ක්‍රීඩකයාට ද අද තරගාවලියෙන් ඉවත් වීමට සිදු විය. ඒ, අවසන් ක්‍රීඩකයින් 16 දෙනාගේ වටයේදී චීන තායිපේ ක්‍රීඩකයෙකු හමුවේ ලැබූ පරාජයත් සමගිනි.