මයිකල් කොහේන්ගෙන් ට්‍රම්ප්ට අනතුරු අඟවීමක්!

"රහස් හෙළි කිරීමට සූදානම්"- මයිකල් කොහේන්ගෙන් ට්‍රම්ප්ට අනතුරු අඟවීමක්

by Staff writer 23-08-2018 | 8:13 AM

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රහස් හෙළි කිරීමට සූදානම් බව ඔහුගේ හිටපූ පෞද්ගලික නීතිඥ මයිකල් කොහේන් පවසයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ අමෙරිකානු ජනාධිපතිවරණයට රුසියාව මැදිහත්වීම සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශන සඳහා සහයදීමට කැමති බව ය. මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලදී මූල්‍ය නීති උල්ලංඝණය කළ බවට එල්ලවන චෝදනාවලට තමා වරදකරු බව මයිකල් කෝහෙන් ඊයේ නිව්යෝර්ක් අධිකරණයකදී පිළිගත්තේ ය. ඔහු සඳහන් කළේ, මැතිවරණයට බලපෑම් කිරීමේ අරමුණින් ජනපති ට්‍රම්ප්ගේ උපදෙස් මත තමන් එය සිදුකළ බවයි. ජනපති ට්‍රම්ප් සමග පැවති පෞද්ගලික සබඳතාවක් මාධ්‍යට හෙළි කිරීම වැළැක්වීම සඳහා කාන්තාවකට මුදල් ලබාදුන් බව ද ඔහු පැවසීය. බැංකු වංචා, බදු ගෙවීම් පැහැර හැරීම් ඇතුලු චෝදනා 8 කට වරදකරු බව පිළිගැනීමත් සමග මයිකල් කෝහෙන්ට නියම කළ වසර 65 ක සිරදඬුවම වසර 5 ක් සහ මාස 3 ක් දක්වා සීමා වනු ඇති. මේ අතර ජනපති ට්‍රම්ප්ගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල හිටපු සභාපති පෝල් මැනෆෝර්ට් ද බැංකු සහ බදු වංචාවලට සම්බන්ධ වරදකරුවෙකු බව වර්ජනියා අධිකරණය ඊයේ තීන්දු කළේ ය. අදාළ චෝදනා ප්‍රතික්ෂේප කරමින් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ, මයිකල් කොහේන් ලාභ ලැබීමේ අරමුණින් සාවද්‍ය ප්‍රකාශ කරන බවයි. කෙසේ වෙතත් මෙම තත්ත්වය හමුවේ ජනපති ට්‍රම්ප්ට ද නීතිය හමුවේ පෙනීසිටීමට සිදුවනු ඇති බවට මත පළ වුව ද ජනාධිපති ධූරයේ රැඳී සිටින තෙක් ඔහුට එරෙහිව අපරාධ චෝදනා ගොනුකළ නොහැකි බව විචාරකයින් පෙන්වා දෙනු ඇත.