දුම්රිය සේවකයින් යළි වැඩ වර්ජනයකට එළැඹෙයි ද?

දුම්රිය සේවකයින් යළි වැඩ වර්ජනයකට එළැඹෙයි ද?

by Staff writer 23-08-2018 | 7:55 PM
COLOMBO (News 1st) - දුම්රිය සේවකයින්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡා අසාර්ථක වූ බව දුම්රිය වෘත්තීය සමිති පවසයි. අද ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති එම සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔවුන් මේ බව සඳහන් කළේ ය. දුම්රිය සේවකයින්ගේ වැටුප් විෂමතා සම්බන්ධයෙන් සොයා බැලීමට ආචාර්ය සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කළ කැබිනට් අනුකමිටුව ඇති කර ගත් එකඟතා ඉටු කර නොමැති බව පවසමින් වෘත්තීය සමිති නියෝජිතයෝ වරින් වර වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹුණහ. පසුගියා 8 වන දා පූර්ණ දැනුම් දීමකින් තොරව ආරම්භ කළ වැඩ වර්ජනය අවසන් කෙරුණේ, ජනාධිපතිවරයා මැදිහත්ව ගැටලු නිරාකරණය කරන බවට දුන් පොරොන්දුවකට අනුව ය. මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා කැබිනට් මණ්ඩලයේදීත් ඉන් පිටතත් දුම්රිය සේවකයින්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීමට දැඩි සේ විරෝධය පළ කළේ ය. ප්‍රශ්නය - "ඇමතිතුමා දැන් මේ වෙන කොට දුම්රිය වර්ජනය පිළිබඳව ඔබතුමා කිව්වා වැටුප් වැඩි කරන්නේ නෑ කියලා." මංගල සමරවීර මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය "වැඩි කරන්නේ නැහැ." අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, මේ හේතුවෙන් අනෙකුත් ක්ෂේත්‍රවල ද මේ වැටුප් විෂමතා මතු විය හැකි බව ය. මේ වන විටත් රාජ්‍ය අංශයේ වැටුප් සමාලෝචනය කර ජාතික වැටුප් ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා ජනාධිපතිතුමාගේ නියෝග මත විශේෂ කොමිසමක් පත් කර තිබේ. දුම්රිය, සෞඛ්‍ය, උසස් අධ්‍යාපන හා අධ්‍යාපන, තැපැල් යන ක්ෂේත්‍රවල වැටුප් විෂමතා අවම කිරීමට සුදුසු විසඳුම් හා තවත් යෝජනා කිහිපයක් සඳහා කොමිසමේ නිර්දේශ ලැබීමට නියමිත ය.