අනුරාධපුර ශික්ෂණ රෝහලේ ස්නායු සැත්කම් නවතී

පේරාදෙණිය සරසවි සිසුන් පිරිසකගේ නොමනා ක්‍රියා හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ස්නායු සැත්කම් නවතී

by Staff writer 22-08-2018 | 10:57 AM
COLOMBO (News 1st) - අනුරාධපුර ශික්ෂණ රෝහලේ ස්නායු ශල්‍ය සැත්කම් සියල්ල තවදුරටත් අත්හිටුවා ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි. මේ පිළිබඳව කළ විමසීමකදී රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය දුලාන් සමරවීර මහතා සඳහන් කළේ, ශල්‍යකර්ම සිදු කිරීමට ඇති රෝගීන් කොළඹ ජාතික රෝහලට මාරු කර යවන බව ය. පහර දීමක් හේතුවෙන් දැනට වෛද්‍ය ප්‍රතිකාර ලබන අනුරාධපුර රෝහලේ ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයා මෙතෙක් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් සැත්කම් නවතා දැමීමට සිදු වූ බව ද ඔහු පැවසුවේ ය. වැඩ බලන රෝහල් අධ්‍යක්ෂවරයා පැවසුවේ, පුහුණුව ලත් වෛද්‍යවරයෙකු සැත්කම් සිදු කිරීම සඳහා ලබන සඳුදා සිට රෝහලට අනියුක්ත කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය එකඟ වී ඇති බව ය. මේ අතර පහර කෑමට ලක් වූ අනුරාධපුර ශික්ෂණ රෝහලේ ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය යොහාන් කෝරළගේ මහතා පැවසුවේ, වෛද්‍ය වාර්තා අනුව තවත් මාස තුනක් යන තෙක් යළි සේවයට වාර්තා කිරීමට තමන්ට නොහැකි වන බව ය. පසුගිය 3 වන දා පෙරවරුවේ හිඳගල මාර්ගයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කාන්තා නේවාසිකාගාරය අසල සිය මෝටර් රථය නවතා සිටියදී අදාළ වෛද්‍යවරයාට මෙම පහර දීම සිදු විය. පහර කෑමෙන් තුවාල ලැබූ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරයා පේරාදෙණිය මහ රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව ඉන් පිටව ගියේ පසුගිය 18 වන දා ය. එම වෛද්‍යවරයාට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් විසින් මෙම පහර දීම සිදු කර ඇති අතර පොලීසිය පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් සිසුන් 3 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති බව ය.