ජපාන ආරක්ෂක ඇමති ත්‍රිකුණාමලයේ සහ හම්බන්තොට වරායේ නිරීක්ෂණ චාරිකාවක

by Staff writer 22-08-2018 | 9:47 PM

COLOMBO (News 1st) - ජපාන ආරක්ෂක අමාත්‍ය ඉට්සුනොරි ඔනොඩේරා මහතා අද පස්වරුවේ හම්බන්තොට වරායේ නිරීක්ෂණ චාරිකාව නිරත වූ බව අප වාර්තාකරු සඳහන් කළේ ය.

ගුවන් මගින් හම්බන්තොටට පැමිණි ජපාන ආරක්ෂක අමාත්‍යවරයා අනතුරුව හම්බන්තොට වරාය පරිශ්‍රය නිරීක්ෂණය කර ඇත. මේ අතර නාවික හමුදාව සඳහන් කළේ, ජපාන ආරක්ෂක අමාත්‍යවරයා අද පෙරවරුවේ නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේ සංචාරය කළ බවයි. එහිදී නාවික හමුදා සම්ප්‍රදානුකූලව සම්මාන මුරයක් ජපාන ආරක්ෂක අමාත්‍යවරයාට පිරිනැමුණු අතර නැගෙනහිර නාවික ආඥාපති රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ මහතා විසින් ඔහු පිළිගනු ලැබිණි. අනතුරුව නැගෙනහිර නාවික විධායන භාර නියෝජ්‍ය ආඥාපති කොමදෝරු නන්දන ජයරත්න මහතා විසින් නැගෙනහිර නාවික විධානයේ ව්‍යූහය සහ නාවික හමුදාව කරණු ලබන කාර්යභාරය සම්බන්ධයෙන් ජපාන ආරක්ෂක අමාත්‍යවරයා දැනුවත් කළේ ය. සුහද සංචාරයක් සඳහා පසුගිය 20 වන දා දිවයිනට පැමිණි ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් -ඉකසුචී- නෞකාවේ නිරීක්ෂණ චාරිකාවට ද ජපන් ආරක්ෂක අමාත්‍යවරයා මෙහිදී එක් විය.