විදෙස්ගත වන මව්වරුන් සම්බන්ධයෙන් ඉල්ලීමක්

අවුරුදු 18ට අඩු දරුවන් සිටින මව්වරුන්ට විදේශගත වීමට අවසර ලබා නොදෙන්නැයි ඉල්ලීමක්

by Staff writer 22-08-2018 | 12:03 PM
COLOMBO (News 1st) - වයස අවුරුදු 18ට අඩු දරුවන් සිටින මව්වරුන්ට විදේශගත වීමට අවසර ලබා නොදෙන ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විදේශ රැකියා අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කරයි. ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති එච්. අබේරත්න මහතා සඳහන් කළේ එම ලිපිය කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරිය මගින් අදාළ අමාත්‍යංශය වෙත යොමු කළ බව ය. වයස අවුරුදු 5ට අඩු දරුවන් සිටින මව්වරුන් විදේශ රැකියා සඳහා පිටත් වීම සම්බන්ධයෙන් නීතිමය පසුබිම විදේශ රැකියා නියුක්ති කාර්යංශය තමන්ගෙන් විමසා තිබූ බව ද ඔහු පැවසුවේ ය. එම විමසීමට පිළිතුරු ලෙස වයස අවුරුදු 18ට අඩු දරුවන් සිටින මව්වරුන් විදේශගත නොකරන ලෙසට දන්වා ලිපියක් යැවූ බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිවරයා ප්‍රකාශ කළේ ය. මේ අතර විදේශගත වන දරුවන් සිටින කාන්තාවන්ගේ පවුල් පසුබිම් වාර්තා ගැනීම පිළිබඳව යළි සමාලෝචනය කර නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කර තිබේ. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී ගත් තීරණයක් අනුව ය. අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේ, එම කමිටුව සඳහා අමාත්‍යවරුන් වන සරත් අමුණුගම, හරීන් ප්‍රනාන්දු , තලතා අතුකෝරළ, චන්ද්‍රානි බණ්ඩාර සහ තමන් ඇතුළත් බව ය. අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සිදු කළ ඉල්ලීමක් අනුව අදාළ කමිටුව පත් කර තිබේ. මේ සම්බන්ධයෙන් නිව්ස්ෆස්ට් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගෙන් විමසීමක් කළේ ය. ඔහු සඳහන් කළේ, කාන්තාවන් විදේශගත වීමේදී ඉදිරිපත් කරන පවුල් පසුබිම් වාර්තා සම්බන්ධයෙන් ගැටලු රැසක් මතුව ඇති බව ය. ඒ හරහා වංචා රැසක් සිදුව ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. මේ හේතුවෙන් විදේශගත වීමේදී කාන්තාවන් සම්බන්ධයෙන් පවුල් පසුබිම් වාර්තා වෙනුවට වෙනත් ක්‍රියා මාර්ගයකට අවධානය යොමු කිරීමේ අවශ්‍යතාව මතුව ඇති බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ ය.