ශ්‍රීලංකන් ගුවන් සමාගමේ වංචා දූෂණ ගැන CIDය ඇමති සරත් අමුණුගමගෙන් ප්‍රශ්න කරයි

by Staff writer 21-08-2018 | 9:15 PM
COLOMBO (News 1st) - ශ්‍රීලංකන් ගුවන් සමාගම පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තු නිලධාරීන්ට අමාත්‍ය ආචර්ය සරත් අමුණුගම මහතා අද ප්‍රකාශයක් ලබා දුන්නේ ය. කොමිෂන් සභාවට ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පැහැදිලි කළේ, 2014 ක්වලාලාම්පූර් සිට කොළඹ බලා පියාසර කළ යුතු වූ ගුවන් යානයන් සිංගප්පූරුවට ගොස් ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දුන් බව ය. අදාළ සිද්ධිය සිදු වන අවස්ථාවේ සිංගප්පූරුවේ සිට ලංකාවට පැමිණීමට නියමිත මගින් අතර තමන් ද සිටි බව අමුණුගම මහතා ප්‍රකාශ කළේ ය. අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, මේ සම්බන්ධයෙන් අදාළ පරීක්ෂණ නිලධාරීන් තමන්ගෙන් ප්‍රශ්න කළ බව ය. මේ සම්බන්ධයෙන් අවසන් තීරණය කොමිසමේ නිලධාරීන් විසින් ගනු ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය. මීට පෙර කොමිසම ඉදිරියේ අනාවරණය වූයේ හිටපු ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා ක්වලාලාම්පූර් සිට කොළඹ බලා පියාසර කිරීමට තිබූ ගුවන් යානයක් සිංගප්පූරුවට ගෙන්වා ගෙන ශ්‍රී ලංකාවට පැමිණි බව ය. ඔහු ඊට හේතු ලෙස එහිදී ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත වූ දූත පිරිසක් ගෙන්වා ගැනීමට එසේ පියවර ගත් බව ය. මෙයින් ගුවන් මගීන් 120කට අධික පිරිසක් ගැටලුවලට මුහුණ දී තිබිණි. ඒ සම්බන්ධයෙන් කළ පරීක්ෂණවලදී අනාවරණය වූයේ එම දුත පිරිසට අයත් වූයේ ආචාර්ය සරත් අමුණුගම, ශ්‍රීලංකන් හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ හා ඔහුගේ බිරිඳ බව ය.