විශේෂ මහාධිකරණය අද විවෘත කෙරේ

විශේෂ මහාධිකරණය අද විවෘත කෙරේ

by Staff writer 21-08-2018 | 6:58 AM
COLOMBO (News 1st) : රාජ්‍ය මුදල් අවභාවිත කිරීම හා අල්ලස් දූෂණ හා අක්‍රමිකතා සොයා බලා නීතිය ක්‍රියාත්මක කිරීමට පිහිටවූ විශේෂ මහාධිකරණය අද විවෘත කෙරෙයි. අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය විසින් අද පෙරවරුවේ එම අධිකරණය විවෘත කරනු ලැබීමට නියමිත ය. මෙම විශේෂ මහාධිකරණය කොළඹ රථවාහන අධිකරණය පිහිටුවා තිබූ ගොඩනැගිල්ලේ ස්ථාපනය කර තිබේ. විවෘත කිරීමෙන් අනතුරුව එය අධිකරණ සේවා කොමිෂණ් සභාවට භාර දීමට නියමිතයි. රාජ්‍ය මුදල් අවභාවිත කිරීම හා අල්ලස් දූෂණ හා අක්‍රමිකතා සොයා බලා නීතිය ක්‍රියාත්මක කිරීමට පිහිට වූ විශේෂ මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලට සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න හා චම්පා ජානකී රාජරත්න යන මහාධිකරණ විනිසුරුවරුවෝ සහ විනිසුරුවරිය ඇතුළත් වෙති. හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් මහතා ඇතුළු සිව් දෙනෙකුට ලබන 24 වන දා කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි යැවීමට එහි විනිසුරු මඩුල්ල පසුගිය පළමු වනදා නියෝග කළේ ය. විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නීතිපතිවරයා පැවරූ ප්‍රථම නඩුව මෙයයි. 2014 පෙබරවාරි පළමු වන දා සිට 2015 ජනවාරි විසි වැනිදා අතර කාලය තුළ මුදල් සාවද්‍ය පරිහණය කිරීමෙන් පොදු දේපොළ පනත යටතේ ගැනෙන වැරදි හා ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ ගැනෙන වැරදි සිදුකර ඇතැයි චෝදනා කරමින් ගාමිණි සෙනරත්, පියදාස කුඩාබාලගේ, නීල් බණ්ඩාර හපුහින්න හා කේ . ලසන්ත බණ්ඩාර යන විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා එම නඩුව පවරා තිබේ.