මැතිව් සුදුසුකම් ලබා ගැනීමේ වටයේදී 5 වන තැනට

මැතිව් සුදුසුකම් ලබා ගැනීමේ වටයේදී 5 වන තැනට

by Staff writer 21-08-2018 | 1:44 PM
News 1st : 18 වන ආසියානු ක්‍රීඩා උළෙල මේ දිනවල ඉන්දුනිසියාවේ ජකර්තා නුවරදී පැවැත්වේ. එහි තුන්වන දිනයේ ආරම්භක තරග ලෙස පිහිණුම් තරග ඉසව් පැවැත්වුණු අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එහි මීටර් 50 පිරිමි නිදහස්ආර පිහිණුම් ඉසව්වට සහභාගී වුණේ, ශ්‍රී ලංකාවේ පිහිණුම් ක්‍රීඩාවේ සොහොයුරන් ලෙස සැලකෙන මැතිව් අබේසිංහ හා කයිල් අබේසිංහයි. පිරිමි මීටර් 50 නිදහස් ආර පිහිණුම් ඉසව්වේ 6 වන සුදුසුකම් ලබා ගැනීමේ තරග වටය සඳහා මැතිව් අබේසිංහ සහභාගී වූ අතර එහිදී ඔහුට හිමිවුයේ 5වන ස්ථානයයි. ඔහු දැක්වූ දක්ෂතාව තත්පර 22.88 ක් වූ අතර කෙසේ වෙතත් ඔහුට තරගයේ ඉදිරි වට සඳහා සුදුසුකම් ලබා ගැනීමට අවස්ථාවක් හිමි නොවීය. ශ්‍රී ලංකාවේ කයිල් අබේසිංහ පිරිමි මීටර් 50 නිදහස් ආර තරග ඉසව්වේ හත්වන සුදුසුකම් ලබා ගැනීමේ තරගයට සහභාගී වූ අතර එහිදී ඔහුට හිමිවූයේ එහි අවසන් ස්ථානයයි. ඔහු තරගය අවසන් කළේ, තත්පර 23 . 46 ක කාලයක් සටහන් කරමිනි. මේ අතර ශ්‍රී ලංකා කාන්තා කබඩි කණ්ඩායම ප්‍රබල ඉන්දීය කණ්ඩායම සමග සිය මූලික වටයේ තරගයක් සඳහා සහභාගී විය. කෙසේ වෙතත් එම තරගයේ ජය හිමිවුණේ, ඉන්දියාවටයි. ලකුණු 38 ට 12 ක් ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පරාජය කරමින් ඉන්දීය ක්‍රීඩිකාවන් තරගයේ ජය තහවුරු කර ගත්තේ ය. ශ්‍රී ලංකාවේ බ්ලේෂ් ප්‍රනාන්දු ඉන්දියාවේ කුමාර් අක්ෂේ සමග කිලෝග්‍රෑම් 80 ට වැඩි බර පන්තියේ ටයිකොන්ඩෝ තරග ඉසව්වේ අවසන් 16 දෙනාගේ තරග වටයට අද සහභාගී විය. කෙසේ වෙතත් ඉන්දීය ක්‍රීඩකායා එම තරගය ලකුණු 13 ට 8 ක් ලෙස ජය ගත්තේ ය.