පකිස්ථාන අගමැති කාර්යමණ්ඩලය 2ක් දක්වා අඩු කරයි

පකිස්ථාන අගමැති කාර්යමණ්ඩලය 2ක් දක්වා අඩු කරයි

by Staff writer 21-08-2018 | 7:33 AM
News 1st : පකිස්ථාන නව අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් 524 ක් වූ සිය සේවක කාර්ය මණ්ඩලය 2 දෙනෙකු දක්වා අඩු කර තිබේ. පකිස්ථාන අග්‍රාමාත්‍යවරයෙකුට නිල වශයෙන් සේවකයින් 524 දෙනෙකු සහ මෝටර් රථ 80 ක් හිමිවේ. ඒ අනුව සිය සේවක මණ්ඩලය දෙදෙනෙකු දක්වා අඩු කළ පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා වෙඩි නොවදින මෝටර් රථ සංචිතය 33 දක්වා අඩු කිරීමට ද තීරණය කර තිබේ. මැතිවරණයට පෙර ඔහු ජනතාවට ලබා දුන් පොරොන්දු සැබෑ ලෙසම ඉටුකරන බව මින් මනාව ඔප්පු වන බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති. පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරදී ජනතාව අමතමින් ඔහු පවසා ඇත්තේ රටේ ජනතාව වෙනුවෙන් වියදම් කිරීමට ප්‍රමාණවත් මුදල් රට තුළ නොමැති අවස්ථාවක අනවශ්‍ය ලෙස තම සුව පහසුව වෙනුවෙන් මුදල් නාස්ති කළ නොහැකි බවයි. එමෙන් ම රටේ දූගීභාවය තුරන් කිරීම වෙනුවෙන් සිය සුඛෝපභෝගී ජීවිතය අත්හැර ජනතාවගේ මුදල් ආරක්ෂා කරන බවට ද පකිස්ථාන අගමැතිවරයා එරට ජනතාවට පොරොන්දු වී තිබේ. පකිස්ථානයේ ණය බර අඩු කිරීමේ අරමුණින් ධනවත් පන්තියෙන් යළි බදු අය කර ගත යුතු බවට ඔහු ඊයේ ප්‍රකාශ කළේ ය. සිය කාර්යාලයට අනියුක්තව ඇති වෙඩි නොවදින සුඛෝපභෝගී රථ අළෙවි කර දැමීමට ද ඉම්රාන් ඛාන් තීරණය කර ඇත්තේ රටේ ණය බරින් ජනතාව මුදා ගැනීමේ අරමුණිනි. ඒ අනුව පාකිස්තානු නව අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, ජනතා බදු මුදලින් සුඛෝපභෝගී ජීවිත ගත කරන ලෝක නායකයින්ට සැබෑ ආදර්ශයක් වනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින්ගේ මතයයි.