ජපාන ආරක්ෂක ඇමති, ජනපති හමුවෙයි

ජපාන ආරක්ෂක ඇමති, ජනපති හමුවෙයි

by Staff writer 21-08-2018 | 7:39 PM
COLOMBO (News 1st) - මෙරට සංචාරයක නිරත ජපාන ආරක්ෂක අමාත්‍යවරයා අනූනම අවුරුදු බදු ක්‍රමය යටතේ චීන රජය විසින් පාලනය කරනු ලබන හම්බන්තොට වරායේ සංචාරයක නිරත වීමට නියමිත ය. එමෙන් ම ඔහු ත්‍රිකුණාමලය වරායන්හි ද සංචාරය කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. දෙදින සංචාරයක් සඳහා ජපාන ආරක්ෂක අමාත්‍යවරයා ‍දිවයිනට පැමිණියේ ඊයේ රාත්‍රියේ ය. ජපාන ආරක්ෂක අමාත්‍ය ඉට්සුනොරි ඔනොදෙරා මහතා අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු විය. ජපාන ආරක්ෂක අමාත්‍යවරයෙකු මෙරට සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙය වීම වි‍ශේෂත්වයකි. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ජනාධිපති කාර්යාලයේ පැවති මෙම හමුවේදී දෙරට අතර සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව අවධානය යොමු වූ බව ය. ජනාධිපතිවරයාගේ පසුගිය ජපාන රාජ්‍ය සංචාරයේදී ඇති කර ගත් එකඟතා ක්‍රියාවට නැංවීමේ ප්‍රගතිය පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට බඳුන් වී තිබේ. ජනාධිපතිතුමාගේ හා ජපාන අග්‍රාමාත්‍යවරයාගේ මීට ඉහතදී පැවති සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස ජපාන රජය වෙරළ සංරක්ෂණය සඳහා වෙරළාරක්ෂණ යාත්‍රා දෙකක් ලබා දී තිබේ. එහි වටිනාකම රුපියල් බිලියන 1.8කි. මේ අතර ජපාන ආරක්ෂක අමාත්‍යවරයාගේ සංචාරය අතරතුර අද පෙරවරුවේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා ද හමු විය. ජපාන ධූත පිරිස හෙට පස්වරුවේ දිවයිනෙන් පිටව යාමට නියමිත ය. මේ අතර ජපානයේ ආරක්ෂ අමාත්‍යවරයා අද පස්වරුවේ ජපානයේ ප්‍රධාන සංඝනායක ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති පූජ්‍ය බානගල උපතිස්ස නාහිමියන් හමු විය.