ඇමති කෙසේ කීවත් ඇත්ත මේකයි....

by Staff writer 21-08-2018 | 8:21 PM
COLOMBO (News 1st) - මින් ඉදිරියට මෙරට රජයේ වියදමින් මහා පරිමාණ විදුලි බලාගාර ඉදිනොකිරීමට තීරණය කර ඇතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පවසයි. මේ සම්බන්ධයෙන් අද කොළඹදී පැවති උත්සවයකින් අනතුරුව පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා අදහස් පළ කළේ ය. ප්‍රශ්නය - ඇමතිතුමා රජය ප්‍රතිපත්තිමය තීරණයක් අරන් තියෙනවා ද මින් ඉදිරියට විදුලි බලාගර ඉදිනොකර සිටීමට? අජිත් පී. පෙරේරා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය  "විදුලි බලාගාර ඉදිකරනවා. රජය මුදල් ආයෝජනය කරලා රජයේ අයිතියට විදුලි බලාගාර ඉදිකරන්නේ නැහැ. ඒක අලුත් ප්‍රතිපත්තියක් නෙවෙයි. ගොඩක් කල්. අපි අන්තිමටම එසේ ඉදිකරන බලාගරය තමයි මහාපරිමාණ බලාගාර අතුරින් මන්නාරමේ මෙගාවොට් 100ක සුළං බලාගාරය. ඒ බලාගාරයෙන් පසුව රජය විසින් රජයේ අරමුදල් යොදලා බලාගාර හදන්නේ නැහැ. ඉදිරියේ අපි ඉදිකරන බලාගාර අපි බලාපොරොත්තු වෙන්නේ සමහර බලාගර විදුලිබල මණ්ඩලය හා හවුල්කාරිත්වය ඇති හවුල් ව්‍යාපාර හැටියට. ඒවගේම තවත් බලාගර අපි ටෙන්ඩර් ක්‍රියාවලිය මගින් පෞද්ගලික අංශයට අවස්ථාව දෙනවා. අපි අඩුම මිලට විදුලිය මිලට ගන්නවා. ජාවාරම් ක්‍රමයට යාලු මිතුරු ක්‍රමයට විදුලිය මිලදී ගැනීම වෙනුවට අපි බලාපොරොත්තු වෙන්නේ තරගකාරී ක්‍රමයට යන්න" අමාත්‍යවරයා එසේ යාලු මිතුරු ක්‍රමයට විදුලිය මිලදී ගැනීම සිදු නොකරන බව කීව ද නිව්ස්ෆස්ට් අවස්ථා ගණනාවකදී ම ඒ සම්බන්ධ තොරතුරු ලිපි ලේඛන සහිතව පෙන්වා දුන්නේ ය. ඒස් ඇඹිලිපිටිය විදුලි බලාගාරයම රුපියල් කෝටි 230ක් වැනි මුදලකට මිලදී ගැනීමට හැකියාව තිබියදී විදුලිබල මණ්ඩලය රුපියල් කෝටි 540ක් වැනි මුදලක් වැය කර විදුලිය පමණක් මිලදී ගැනිමට යළි ගිවිසුම්ගත වීම හාස්‍යයට කරුණකි. ඇමතිතුමනී මේ හිතමිතුරුකම් නොවේ ද? ලංකා විදුලිබල මණ්ඩලය වාර්ෂිකව මහජන උපයෝගීතා කොමිසමට දළ වශයෙන් මිලියන 50ක පමණ නියාමන ගාස්තු ගෙවිය යුතු වුවත් එම මුදල ගෙවීමට නම් මහජන උපයෝගීතා කොමිසමේ වත්මන් අධ්‍යක්ෂක ජනරාල් එම ධූරයෙන් ඉවත් විය යුතු බවට සඳහන් කරමින් ලිපියක් යොමු කළේ කුමන පදමකින් ද ? ඇමතිතුමනී විදුලි පාරිභෝගික ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරීමට සිටින මහජන උපයෝගීතා කොමිසමේ ප්‍රධානියා ඉවත් කිරීමට අර අදින්නේ ඔබලාගේ හිත මිතුරුකම්වලට බාධා ඇති වන නිසා නොවේ ද? ඉදිරියේදී රටේ මහා පරිමාණ විදුලි බලාගාර ඉදිකිරීම නවතා රටේ විදුලි අවශ්‍යතාව සපුරාලීමේ මුවාවෙන් මොවුන් උත්සහ කරන්නේ හිතවත් පෞද්ගලික සමාගම්වලින් අනිසි ලාභ ඉපැයීමට ද ? එසේත් නැතිනම් විදුලි මාෆියාව තවදුරටත් වර්ධනය කිරීමට ද ? අඩු වියදම් ක්‍රම ඔස්සේ සැමට විදුලිය ලබා දීමට පොරොන්දු දුන්න ද අද සිදුව ඇත්තේ ජනතාව අසරණ වීමක් නොවේ ද ?