අන්තරේ විරෝධතාවට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර

ඇමති විජයදාසට විරෝධය පා අන්තරේ සිසුහු වීදි බසිති: පොලීසියෙන් කඳුළු ගෑස් හා ජල ප්‍රහාර

by Staff writer 21-08-2018 | 3:42 PM
COLOMBO (News 1st) - අද පස්වරුවේ කොළඹ පැවති විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතා පා ගමනක් විසුරුවා හැරීම සඳහා ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට පොලීසියට සිදු විය. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් මෙම විරෝධතාව සංවිධාන කර තිබිණි. අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් සඳහා පනවා ඇති පන්ති තහනමකට විරෝධය පළ කිරීම හා ඇමති විජයදාස රාජපක්ෂ මහතා කළ ප්‍රකාශයකට විරෝධය දක්වමින් මෙය පැවැත්විණි. කොළඹ පුරහලට පැමිණි විරෝධතාකරුවන් වෝඩ් පෙදෙසේ පිහිටි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා පරිශ්‍රය දෙසට යාමට උත්සහ කළත් ඊ‍ට ඉඩ නොලැබිණි. විරෝධතාකරුවන් පාලනය කිරීමට පොලීසිය ජල සහ කඳුළු ගැස් ප්‍රහාර එල්ල කළේ ය. මද වේලාවකින් පසුව විසිර ගිය විශ්වවිද්‍යාල සිසුන් යළි පුරහල ආසන්නයේ රැඳී සිටීම හේතුවෙන් ඔවුන් පළවා හැරීමට පොලීසියට සිදු විය. එම ප්‍රහාරයෙන් පසුව ද විරෝධතාකරුවෝ පුරහල ප්‍රදේශයේ රැඳී සිටියහ.