ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් අද ත් තරග බිමට

ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් අද ත් තරග බිමට

by Staff writer 20-08-2018 | 7:42 AM
COLOMBO (News 1st) : ආසියාවේ ශක්තිය තේමා කොටගත් ආසියාවේ ඔලිම්පික් උළෙල ලෙස සැලකෙන 18 වන ආසියානු ක්‍රීඩා උළෙලේ තරග අද දෙවන දිනටත් පැවැත් වේ. අද දිනයේත් ඉන්දූනිසියාවේ ජකර්තා නුවරදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් තරග බිමට පිවිසීමට නියමිතයි. එහි තරග පැවැත්වෙන දෙවන දිනය වන අද දිනයේදී ශ්‍රී ලංකාවට පදක්කම් බලාපොරොත්තුවක් තබා ගත හැකි තරග ඉසව් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් තරග බිමට පිවිසීමට නියමිතයි. ශ්‍රී ලංකාවේ අසංක මැදගෙදර හා මලින්ත ශශිමාල් පිරිමි යුගළ බීච් වොල්බෝල් තරග ඉසව්වේ මූලික වටයේ තරගය සදහා දකුණු කොරියාවත් සමග අද තරග බිමට පිවිසෙයි. ශ්‍රී ලංකා හොකි කණ්ඩායමද අද සිය පළමු තරගය සඳහා ජපානයත් සමග තරග වැදීමට නියමිතයි. ශ්‍රී ලංකා කාන්තා හා පිරිමි කබඩි කණ්ඩායම්ද අද සිය මූලික වටයේ තරග සඳහා සහාභාගී වේ. 18 වන ආසියානු ක්‍රීඩා උළෙල ඔරු පැදීමේ තරග ඉසව්වේ මූලික වටය සඳහා ශ්‍රී ලංකාවේ පිරිමි ඔරු පැදීමේ කණ්ඩායම සහභාගී වන අතර අකලංක පීරීස් මීටර් 50 පිරිමි පසුපස ආර පිහිනුම් තරග ඉසව්ව සඳහා අද සහභාගී වීමට නියමිතයි. කිලෝග්‍රෑම් 58 පිරිමි ටයිකොන්ඩෝ තරග ඉසව්වේ අවසන් 31 දෙදෙනාගේ තරග වටය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරනනේ තිසර ධර්මප්‍රියා ය. ශ්‍රී ලංකාවේ නිසංසලා සඳමාලි ද කාන්තා කිලොග්‍රෑම් 67 තරග ඉසව්වේ අවසන් 16 දෙනාගේ වටය සඳහා අද සහභාගී වන්නී ය. ටෙනිස් ක්‍රීඩාවෙන් ද ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද තරග බිමට පිවිසෙන අතර පිරිමි ඒකල තරග ඉසව්ව සඳහා තිවංග ශ්‍රමාල් හා පිරිමි යුගල තරග ඉසව්ව සඳහා යසිත් රංගන සමග තිවංක ශ්‍රමාල් හා කාන්තා ඒකල තරග ඉසව්වට අනිකා සෙනෙවිරත්න හා අංජලි කුරේරා සහභාගී වීමට නියමිතයි. කාන්තා ටෙනිස් යුගළ තරග ඉසව්ව සදහාද ශ්‍රී ලංකාවේ අනිකා හා අංජලි තරග වදිති. ශ්‍රී ලංකා වොලිබොල් කණ්ඩායම ද තායිලන්තය සමග අද මූලික වටයේ තරගයක් සඳහා පිටිය පිවිසෙන අතර ශ්‍රී ලංකාවේ පැතුම් නුවන් පිරිමි කිලොග්‍රෑම් 60 බර පන්තියේ වුෂූ සන්දා තරග ඉසව්වේ අවසන් 16 දෙනාගේ තරගයකට අද තරග බිමට පිවිසීමට නියමිතයි. චීනය 18 වන ආසියානු ක්‍රීඩා උළෙලේ පළමු දිනය අවසන් වන විට සමස්ත පදක්කම සටහනේ පෙරමුණ හිමිකර ගැනීමට සමත්ව සිටී. ඔවුන් රන් පදක්කම් 7 ක් රිදී පදක්කම් 5 ක් හා ලෝකඩ පදක්කම් 4 ක් සමගින් දිනා සිටින සමස්ත පදක්කම් ගණන 16 කි. රන් පදක්කම් 3 ක් රීදී පදක්කම් 6 ක් හා ලෝකඩ පදක්කම් 5 ක් ඇතුළුව සමස්ත පදක්කම් 14 ක් දිනගෙන ඇති ජපානය එහි පසුවන්නේ දෙවන ස්ථානයේයි. දකුණු කොරියාව රන් පදක්කම් 2 ක් රිදී පදක්කම් 3 ක් හා ලෝකඩ පදක්කම් 6 ක් ඇතුළුව සමස්ත පදක්කම් 11 ක් දිනාගනිමින් එහි තුන්වන ස්ථානයේ පසුවේ.