- බළලා මල්ලෙන් එළියට පැනීම -

by Staff writer 20-08-2018 | 9:17 PM

COLOMBO (News 1st) - අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ කෑගල්ලේදී ප්‍රකාශයක් කළේ ය.

අග්‍රාමාත්‍ය, රනිල් වික්‍රමසිංහ,
19 වන සංශෝධනය ඉස්සෙල්ලාම සම්මත කළා. ජනාධිපතිතුමා දැන් පාර්ලිමේන්තුවට වග කියන්න ඕනේ, මාස තුනකට සැරයක්. ජනාධිපතිගේ කාලය අවුරුදු 5 කට සීමා කළා. පාර්ලිමේන්තු පාලනය වැඩි කරන්න, ඇමතිවරු නියෝජ්‍ය ඇමතිවරු නම් කරන්නේ අගමැති. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිතුමාට නෑ. දැන් අග්‍රවිනිශ්චයකාරවරයා තෝරන එක දැන් අපිට තෝරන්න බෑ. අපි තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳව පනත සම්මත කළා. ප්‍රදේශීය සභා ඡන්දය පැවතියේ අමාරුම කාලෙක. ආර්ථිකයේ ණය ගෙවන්න සිද්ධ වුණා.
අගමැතිවරයාගේ මේ ප්‍රකාශය ගැන රටේ ජනතාව නම් කියන්නේ බළලා දැන් මල්ලෙන් පිටට පැන ඇති බවයි. 2015 ජනවාරි 8 වන දා ජනාධිපතිවරයා බලයට පත්වනවිට දුන් ප්‍රධාන පොරොන්දුවක් වූයේ ජනමත විචාරණයකින් තොරව විධායක ජනාධිපතිධූරයේ අත්හැරිය හැකි බලතළ අත්හරින බවයි. ජනතා පොරොන්දුව ඉටුකරමින් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් විධායක බලතළ සැලකිය යුතු ප්‍රමාණයක් අඩු කිරීමට ජනාධිපතිවරයා සැබෑලෙසම කැප විණි. එහෙත් ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න හා එම්. ඒ. සුමන්දිරන්වැනි පුද්ගලයින් යොදාගනිමින් අගමැතිවරයා අවසානයේ සිදු කළේ කුමක් ද? අගමැතිවරයාම දැන් පම්පෝරි ගසන ආකාරයට විධායක ජනාධිපතිවරයාත් අබිභවා ගිය බලයක් ඔහු වටා කේන්ද්‍රගතවී තිබේ. අවසානයේ සිදුව ඇත්තේ ජනාධිපතිවරයාට අවශ්‍ය අවස්ථාවක අගමැතිවරයා ධූරයෙන් ඉවත් කිරීමට නොහැකිවී ඇති අතරම ඇමතිවරුන් පිළිබඳව ද ජනාධිපතිවරයාට අභිමත පරිදි තීරණගත නොහැකි තත්ත්වයකට පත්වීමයි. විධායක ජනාධිපති බලතළ කප්පාදු කිරීමේ සැබෑ වුවමනාව යොදාගෙන අවසානයේ සිදු ව ඇත්තේ වෙනත් අයෙකු බොරදියේ මාලුබෑම නොවේ ද? අප මේ ගැන කොපමණ වාර ගණනකදී පෙන්වාදී ඇත් ද? දැන් අගමැතිවරයාගේ ම ප්‍රකාශයෙන් සිදු ව ඇති දේ ජනතාවට අවබෝධ වනු ඇත. ජනවාරි 8 වෙනස වෙනුවෙන් පෙළ ගැසුනු ජනතා බලාපොරොත්තු ඉටු කිරීමට මූලිකත්වය ගත් ජනාධිතිතුමා පාර්ලිමේන්තුවේ ආසන 46 ක් පමණක් හිමිව තිබූ පක්ෂයේ නායකයා අගමැති අසුනට පත් කළේ සද්භාවයෙන් විය යුතුයි. එහෙත් අවසානයේ සිදු වූයේ කුමක් ද? සූක්ෂම අයුරින් 19 වන සංශෝධනය හරහා බලය පැහැර ගැනීමට උත්සාහ කළා පමණක් නොව දූෂණයට, වංචාවට බාධාවක් වූ මාධ්‍ය නිහඬ කිරීමට ද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ කණ්ඩායම උත්සාහ කළේ ය. වාසනාවට මෙන් මාධ්‍යට අතපෙවීමට නොහැකිවූයේ අප නිදහස් මාධ්‍යයක් වෙනුවෙන් අධිකරණය හමුවේ පිහිට පැතූ නිසයි. එහෙත් නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්යැයි කියන උපදේශකයින්ගේ ඇස්වසා විධායක බලතළ කොල්ලකෑමට 19 වන සංශෝධනය අපූරුවට යොදාගෙන ඇති අයුරු දැන් පැහැදිලිවන සත්‍යයකි. විධායක ජනාධිපති බලතළ කප්පාදුවෙන් නොනැවතුන පිරිස ජනවාරි 8 වන දා වෙනස සිදුවී සති කිහිපයකින් රටේ ආර්ථිකයේ මර්මස්ථානය වූ මහ බැංකුව හරහා ජනතාවගේ මුදල් කිහිපදෙනෙකු අතට පත්වන අයුරින් බැඳුම්කර වංචාව සිදු කළේ ය. බලයට පත් වූ වහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කළේ තමන්ට සමීප හිතවතුන් අතට රාජ්‍ය බැංකු පද්ධතිය පත් කිරීමයි. ඉන් නොනැවතී එතෙක් මුදල් අමාත්‍යාංශය යටතේ තිබූ මහ බැංකුව තමන් යටතේ ඇති ජාතික ප්‍රතිපත්ති හා ආර්ථීක කටයුතු අමාත්‍යාංශයට යටතට පවරා ගත්තේ ය. එසේ පවරාගත් මහ බැංකුවට තම මිතුරු අර්ජුන් මහේන්ද්‍රන් පත් කළේ සිංගප්පූරුවේ සිට මෙරටට ගෙන්වාගෙනයි. 2015 පෙබරවාරි 27 පළමු බැඳුම්කර වංචාවට මුල පිරුනේ මෙවැනි පසුබිමකයි. වංචාව දින කිහිපයකින් අනාවරණයවීමත් සමග වහා පරීක්ෂණයක් පවත්වා වාර්තාකරන ලෙස ජනාධිපතිවරයා සිය ලේකම්වරයාට නියෝග කළේ ය. ජනාධිති ලේකම්වරයා ක්‍රියාත්මකවීමට පෙර ඉදිරියට පැමිණි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තම පක්ෂයේ හිතවත් නීතිඥවරුන් තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කර වංචාවක් නොවූ බව ජනතාව ඉදිරියේදී පෙන්වාදීමට උත්සාහ කළේ ය. ඒ අතරවාරයේ අර්ජුන් මහේන්ද්‍රන් ආරක්ෂා කිරීම සඳහා අගමැතිවරයා පාර්ලිමේන්තුව තුළ පෙනී සිටියේ වරක් දෙවරක් නොවේ. ඩිව් ගුනසේකර මන්ත්‍රීවරයා සභාපති ධූරය දැරූ කෝප් කමිටුව මේ වංචාවේ අගමුල සොයන්නට වූ අතර අවසන් වාර්තාව නිකුත්වීමට දින කිහිපයක් තිබියදී පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබේ. අගමැතිවරයාම කියන ආකාරයට ජනාධිපතිවරයාට තනිමතයට පාර්ලිමේන්තුව හැරිය නොහැකියි. එසේනම් එය සිදුවිය යුත්තේ අගමැතිවරයාගේ ඉල්ලීමට අනුවයි. හොරකම වසන්කිරීම සඳහා පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයකට ගියත් නැවත පත් වූ පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව ද වංචාව ගැන විමර්ශන ඇරඹිය. සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා සභාපතිධූරය දරණ කෝප් කමිටුව විමර්ශන ආරම්භ කළා වහා සිදු වූයේ කමිටුවේ එක්සත් ජාතික් පක්ෂ සමාජික එම්.වේලුකුමාර් මන්ත්‍රීවරයා ඉවත්කර සුජීව සේනසිංහ මන්ත්‍රීවරයා ඊට ඇතුල් කිරීමයි. සේනසිංහ මන්ත්‍රීවරයා බැඳුම්කර වංචාවක් සිදුනොවූ බව පෙන්වාදීමට පොත් පවා රචනා කර ප්‍රසිද්ධ කළ අයෙකි. එහෙත් නායකයාගේ ලණුවක් කෑ සේනසිංහ මන්ත්‍රීවරයාට ද දැන් සත්‍යය අවබෝධවී ඇතැයි පෙනේ. අවසානයේ සිදුවූයේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන කෝප් කමිටු සාමාජිකයින් අවසන් වාර්තාවට පාද සටහන් යොදා දුර්වල කිරීමයි. කෝප් විමර්ශන සිදුවන කාලසීමාවේදීත් සුජීව සේනසිංහ, අජිත් පෙරේරා, හර්ෂණ රාජකරුණා සහ හෙක්ටර් අප්පුහාමි යන මන්ත්‍රීවරුන්ට අර්ජුන් ඇලෝසියස්ගෙන් ලැබුණු සිය ගනනක දුරකතන ඇමතුම් දැන් රටටම රහසක් නොවේ. ඩිව් ගුනසේකර වාර්තාව ප්‍රසිද්ධවීම වළක්වා හදුන්නෙත්ති කෝප් වාර්තාව පාද සටහන් මගින් දුර්වල කිරීමට මේ පුද්ගලයින් උත්සාහ කළේ මේ වංචාවට සම්බන්ධවූවන්ට සිරබත් කෑමට සිදුවන නිසාදැයි රටේ ජනතාව දැන් අසන ප්‍රශ්නයකි. වංචාව ගැන රටම කතාකරද්දී යළි ත් 2016 මාර්තු 29 හා 31 යන දින දෙකේ දෙවන බැඳුම්කර වංචාවත් සිදු කළේ ය.. දිගින් දිගටම ඇල්මැරුණු විමර්ශන තීරණාත්මක සංධිස්ථානයකට පැමිණියේ ජනාධිපතිවරයා මැදිහත්වී පත්කල ජනාධිපති කොමිෂන් සභාව නිසයි. ජනාධිපතිවරයා කොමිසම පත්කිරීමට පෙර අර්ජුන් මහේන්ද්‍රන්ගේ මහබැංකු අධිපති නිලකාලය දීර්ඝ නොකරද්දී අගමැතිවරයා මහබැංකුවට ගොස් තම මිතුරා ආරක්ෂා කරන බව තහවුරු කර ඇත. ජනාධිපති කොමිෂන් සභාවේදී නීතිපති දෙපාර්තමේන්තුවේ සිටින දප්පුලද ලිවේරා, යසන්ත කෝදාගොඩ වැනි දක්ෂ නීතිඥවරුන් හරස් ප්‍රශ්න අසමින් හොරකම හෙළිකරද්දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රශ්න කිරීම නීතිපතිවරයාට පැවරුවේ ය. එසේ පැවරුවා පමණක් නොව අගමැතිවරයාගෙන් අසන ප්‍රශ්න කලින්ම ඔහුට ලැබීමට සලස්වා තිබුණි. අගමැතිවරයා පමණක් නොව මලික් සමරවික්‍රම හා කබීර් හෂීම් යන අමාත්‍යරුන්ගෙන් ද කොමිසම හමුවේ ප්‍රශ්න කළේ ඇල්මැරුණු ස්වරූපයෙනි. අවසානයේ සකස් කළ කොමිෂන් සභාවාර්තාවේ ද පිටු ගණනක් තවමත් ප්‍රසිද්ධකර නොමැති අතර හිටපු ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ඉන් කොටසක් ලේඛනාගාරයට යවා තිබුනත් ඒවා ප්‍රසිද්ධියේ ලබාගැනීමට නොහැකිවී තිබේ. බැඳුම්කර වංචාව පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තාව ගැන පාර්ලිමේන්තු විවාදය තවමත් පැවැත්වීමට නොහැකිවී ඇත්තේ අගමැතිවරයාට සමීප දෙමළ සන්ධාන මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් එහි දෙමළ පරිවර්තනයක් ඉල්ලා සිටීම නිසායි. මේ අයුරින් පළමු බැඳුම්කර වංචාව වසන්කරද්දී දෙවන වංචාව පිළිබඳව කිසිදු විමර්ශනයක් සිදුවී නොමැත. දැන් තහවුරු වන්නේ කුමක් ද? 19 වන සංශෝධනයෙන් සිදු කළ දේ දැන් අගමැතිවරයාම හෙළි කර තිබේ. ඒ අයුරින්ම බැඳුම්කර සොරකමත් සොරුන් ආරක්ෂා කිරීම ගැනත් අප කළ අනාවරණයන් දැන් තහවුරුවී ඇත. දැන් බළලා මල්ලෙන් එළියට පැන ඇත්තේ වරක් දෙවරක් නොවේ. මින් පෙනී යන්නේ අගමැතිවරයා ජනතාව ඉදිරියේ පවසන දේට වඩා ඇත්ත වෙනස් බව නොවේ ද? ජනතා අවධානයට....