දේශපාලකයින්ට දැන් ගම මතක් වෙන්නේ ඇයි?

by Staff writer 19-08-2018 | 10:26 PM
COLOMBO (News 1st) : ජනතාව හමුවේ ඇති ප්‍රධාන ගැටලුවලට මෙතෙක් විසඳුම් ලබාදීමට පැවති ආණ්ඩුවලට හා වර්තමාන ආණ්ඩුවට නොහැකිවී තිබේ. නිවුස් ෆස්ට් ඇතුළු මෙරට විද්‍යුත් මුද්‍රිත මාධ්‍යයන් කෙතරම් දැනුවත් කළද දේශපාලකයින් ඊට අවධානය යොමු නොකරන්නේ ඇයි ද යන්න ප්‍රශ්නාර්ථයකි. ජනතාවගේ මුදල් ජනතාව වෙනුවෙන් වියදම් නොකොට ගසා කෑවේ කවු ද? මෙරට ඉතිහාසයේ සිදුවූ විශාලතම මූල්‍ය වංචාව බැඳුම්කර වංචාව බව පොඩි ළමයෙකු පවා දන්නා කරුණකි. 2015 වසරේ මහබැංකු බැඳුම්කර වංචාවෙන් සිදුවු පාඩුව රුපියල් මිලියන සියගණනක් ඉක්මවන බව විශේෂඥයෝ දිගින් දිගටම පෙන්වා දුන්හ. ජනාධිපති කොමිෂන් සභා වාර්තාවට අනුව පළමු බැඳුම්කර වංචාවෙන් ජනතාවට සිදුවු පාඩුව රුපියල් මිලියන 8500කි. දෙවන බැඳුම්කර ගනුදෙනුවෙන් ද අතිවිශාල පාඩුවක් සිදුවු බව නොරහසකි. අධිවේගී මාර්ග ඉදිකිරීමේ මුවාවෙන් සිදුවූ පාඩුව වචනයෙන් විස්තර කළ නොහැකි තරම් ය. මෙවැනි දැවැන්ත හොරකම් නොවුනානම් ජනතා ගැටලු රැසකට සෘජු විසදුම් ලබාදීමට හැකියාව නොතිබුනා නෙවේද? වකුගඩු රෝගීන්ට හිසට සෙවනක් නොමැති මිනිසුන්ට බීමට ජලය නොමැති ජනතාවට ඇලදොල මංමාවත් ඉදිකිරිමට අලිමිනිස් ගැටුමට විසඳුම් දීම ජීවන වියදම අඩුකිරිමට මාර්ග තදබද අඩුකර පොදු ප්‍රවාහන සේවා විධිමත් කිරීමට තිබු අතිවිශාල ධනස්කන්ධය සොරකම් කලේ කවුද? ඔබත් අපත් අපගේ දරුවන්ටත් සදාකාලික ණය කරුවන් බවට පත්කළ හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් නීතිය හමුවට ගෙනඒම ප්‍රමාද කරන්නේ කවුරුන් ද? අගමැතිතුමනි , දැන්වත් බැඳුම්කර වංචාවට සම්බන්ධ අර්ජුන් මහේන්ද්‍රන් නීතිය හමුවට ගෙන ඒම ඔබතුමාගේ වගකීමක් නොවේද ? මේ මුදල් වලින් තමන්ගේ සාක්කු පුරවා නොගෙන ජනතාව වෙනුවෙන් වැය කළා නම් ජනතාවගේ ගැටලු විසඳීමට මැදිහත්වන්නට තිබිණ. සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානය ජනතා ගැටලු විසඳීම සඳහා ගතහැකි සෑම ක්‍රියාමාර්ගයක් ගත්තේ , පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී සහයෝගය ඇතිවයි . විශ්වවිද්‍යාල සමග එක්ව කළ සමීක්ෂණයින් මෙරට පොදු ජනතාව මුහුණ දී සිටින ගැටලු වර්ගීකරණයකට ලක්කර එකින් එක විසඳුම් සොයන්නට අපි ගම්නියම් ගම්වල සංචාරය කළෙමු. ඒ හැකි අයුරින් ජනතාවට උදව් කිරීමටයි . රටේ ජනතාව ජීවත් වීමට සුදුසු පරිසරයක් සකස් නොකරන්නේ , නම් ජනතාව මේ ආණ්ඩුවට පාඩම් උගන්වන කාලය වැඩ ඈතක නොවේ .