වැසි හේතුවෙන් මධ්‍ය කදුකරයේ මාර්ග පද්ධතියට බලපෑම

අධික වැසි හේතුවෙන් මධ්‍ය කදුකරයේ මාර්ග පද්ධතියට බලපෑම්

by Staff writer 19-08-2018 | 11:43 AM
අධික වැසි සමඟ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ස්ටැඩන් ප්‍රදේශයට පස් කන්දක් කඩා වැටීම සම්බන්ධයෙන් විශේෂ පරික්ෂණයක් ආරම්භ කර ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය ගාමිණි ජයතිස්ස මහතා සඳහන් කලේ, දිස්ත්‍රික් කාර්යාල නිලධාරීන් ඒ සඳහා යොමු කර ඇති බවයි. අවශ්‍යතාව අනුව, පරික්ෂා කිරීම් සදහා කොළඹින් විශේෂ කණ්ඩායමක් යොමු කිරිමට සැලසුම් කර ඇතැයි ද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. පසුගියදා මෙම පස් කන්ද කඩා වැටීම හේතුවෙන් හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වූ අතර ඒ වෙනුවෙන් විකල්ප මාර්ගයක් ඉදිකලා. මේ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයට පනවා තිබූ නායයාමේ අනතුරු ඇගවීම අද(19) පස්වරු 05 දක්වා දීර්ඝ කර තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය ගාමිණි ජයතිස්ස මහතා සඳහන් කළේ දිස්ත්‍රික්කයේ අඹගමුව සහ කොත්මලේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශවලට එම නිවේදනය බලාත්මක බවයි. මේ අතර දින කිහිපයක සිට පවතින අධික වැසි හේතුවෙන් මධ්‍ය කදුකරයේ ජලාශ කිහිපයක් මේ වනවිට වාන් දමන අතර වර්ෂාවෙන් මාර්ග පද්ධතියට ද බලපෑම් එල්ල වී තිබෙනවා.