18 වන ආසියානු ක්‍රීඩා උළෙල අද ඉන්දුනීසියාවේදී ඇරඹේ

18 වන ආසියානු ක්‍රීඩා උළෙල අද ඉන්දුනීසියාවේදී ඇරඹේ

by Staff writer 18-08-2018 | 9:27 AM
COLOMBO (News 1st) - රටවල් 45ක සහභාගීත්වයෙන් 18 වන ආසියානු ක්‍රීඩා උළෙල අද ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී ආරම්භ වේ. එම ක්‍රීඩා උළෙල සැලකෙන්නේ, ආසියානු කලාපයේ ඔලිම්පික් උළෙල ලෙස යි. මෙවර ක්‍රීඩා උළෙලට ඉසව් 40ක් ඇතුළත් ය. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩා උළෙල සඳහා ඉසව් 30ක් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 177 දෙනෙක් සහභාගී වෙති. පිහිණුම්, දුනු විදීම, මළල ක්‍රීඩා, බැඩ්මින්ටන්, බේස්බෝල්, පැසිපන්දු, බොක්සිං, ඔරු පැදීම, ගොල්ෆ්, ජිම්නාස්ටික්, හොකී, ජූඩෝ, කබඩි, කරාතේ, සත් සාමාජික රග්බි, රුවල් ඔරු පැදීම, ස්කොෂ්, මේසපන්දු, ටයිකොන්ඩෝ, ටෙනිස්, තුන්ප්‍රයාම, බීච් වොලිබෝල්, වොලිබෝල්, බර එසවීම, මල්ලව පොර හා වූෂු ආදී ක්‍රීඩාවලින් මෙවර එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වීමට නියමිත ය. ආසියානු ක්‍රීඩා උළෙලේ ඉතිහාසයේ පසුගිය අදියර 17 තුළ ශ්‍රී ලංකාව රන් පදක්කම් 11ක්, රිදී පදක්කම් 11ක් හා ලෝකඩ පදක්කම් 24 ක් ඇතුළුව සමස්ත පදක්කම් 46ක් දිනා ගෙන තිබේ. අවසන් වරට 2014 වසරේ දකුණු කොරියාවේ පැවති ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව පදක්කම් දෙකක් දිනා ගත් අතර ඒ පිරිමි ක්‍රිකට් ක්‍රීඩාවේ රන් පදක්කම හා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලෝකඩ පදක්කම යි. ආසියානු ක්‍රීඩා ඉතිහාසයේ සුසන්තිකා ජයසිංහ ශ්‍රී ලංකාව වෙනුවෙන් කේවල පදක්කමක් දිනූ අවසන් ක්‍රීඩිකාව ලෙස වාර්තා වේ. ඇය 2006 දෝහාහි පැවති ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 200 ලෝකඩ පදක්කමත්, මීටර 100 රිදී පදක්කමත් දිනා ගත්තා ය. ඒ වසරේදී ම රොහාන් කුමාර, රෝහිත පුෂ්පකුමාර, ප්‍රසන්න අමරසේකර හා අශෝක ජයසුන්දර නියෝජනය කළ ශ්‍රී ලංකා 400X4 සහය දිවීමේ කණ්ඩායම එම ඉසව්වේ ලෝකඩ පදක්කම ද දිනා ගත්තේ ය. ශ්‍රී ලංකාව මෙතෙක් ආසියානු ක්‍රීඩා උළෙලවල්වලදී හිමි කර ගෙන ඇති සමස්ත පදක්කම් 46 න් 27ක් ම මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිනා ගෙන තිබීම විශේෂත්වයකි. අද ආරම්භ වන 18 වන ආසියානු ක්‍රීඩා උළෙල එළැඹෙන සැප්තැම්බර් මස 3 වන දා දක්වා ඉන්දුනීසියාවේ ජකර්තා හා පලේම්බාන්ග්හිදී පැවැත්වේ.