සිංගප්පුරු-ලංකා වෙළෙඳ ගිවිසුමේ තවත් අනාවරණයක්

රහසිගතව සකස් කරමින්,රහසිගතව අත්සන් තබමින්,රහසිගත සාකච්ඡා පවත්වන සිංගප්පුරු-ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමේ තවත් අනාවරණයක්

by Staff writer 18-08-2018 | 9:48 PM

COLOMBO (News 1st) - සිංගප්පුරු - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමේ පවතින අද්භූත කාරණා රැසක් පිළිබඳව ඊයේ අප ජනතාවට අනාවරණය කළෙමු.

මේ එහි දෙවන දිගහැරුමයි.. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වෙළෙඳාම හා සම්බන්ධව කටයුතු කරන්නේ අද ඊයේ සිට නොවේ. වසර ගණාවක සිටම ශ්‍රී ලංකාව ලෝක ප්‍රකට වාණිජ රාජ්‍යයකි. එහෙත් ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් හරහා අප සෑම විටම කරන්නේ නිවැරදිදේ ද? මේ පිළිබඳව යළි ත් අපට කතා කරකන්නට සිදු ව තිබෙන්නේ සිංගප්පුරු - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම තුළ පවත්නා ගැටලුකාරී තත්ත්වයන් හේතුවෙනි. කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය කෙනත් ද සිල්වා,
ඒ ගිවිසුම හරහා අපිට ලස්සනට ගිවිසුම්ගත කරලා තිබුණට ඒක ප්‍රායෝගිකව අපිට දකින්න ලැබෙන්නේ නෑ. අපේ තියෙන කර්මාන්තකරුවන් හා ව්‍යවසායකයින් අතර සාකච්ඡා ඇති කරලා රජයට උපරිමයෙන් දෙන්න පූළුවන් සහයෝගය ඒ ගොල්ලන්ට ලබාදීලා ඒ ගොල්ලන්ගේ කර්මාන්තය නගා සිටුවලා ඒ ගොල්ලන්ට ඒ කර්මාන්ත ගෝලීය මට්ටමින් තරඟකාරී වෙළෙඳපොළත් එක්ක සම්බන්ධ කිරීමේ හැකියාව තිබුණායින් පස්සේ තමයි මේ වගේ ගිවිසුම්වලට යන්න තියෙන්නේ. ඒ ඒ භාණ්ඩ හා සේවා සඳහා තියෙන ඉල්ලුම පිටරටවල්වලට ගෙනියෑමේ තියෙන නොහැකියාව නිසා අපිට මේ තත්ත්වය උදාවෙලා තියෙන්නේ. ඒ නිසා අපේ ආර්ථික ව්‍යූහය නිසි ලෙස කළමනාකරණය කිරීම සඳහා රජය පියවර ගත යුතුයි. විකල්ප පියවර ගත යුතුයි.
කෙසේ වෙතත් මෙම සිංගප්පුරු - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමට පක්ෂපාති පාර්ශව කිහිපයක් සමග පැවැත් වූ හමුවකින් අනතුරුව ඉකුත් 15 වන දා සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යංශය ලියවිල්ලක් සකස් කර තිබේ. ඒ මෙම ගිවිසුම හා සම්බන්ධ කර්මාන්තවලදී සිදුවන හානි පුර්ණයන්ට අදාළවයි. ‍එහෙත් විෂයභාර අමාත්‍යවරයා අවස්ථා ගණනාවකදී කියා සිටියේ මෙම ගිවිසුම හරහා මෙරට කර්මාන්තයන්ට කිසිදු බලපෑමක් සිදුනොවන බවයි. අදාළ ලියවිල්ලේ 11 වැනි පිටුවේ සඳහන් පරිදි මෙම ගිවිසුම මගින් මෙරට කර්මාන්තයන්ට සිදුවිය හැකි හානි පුර්ණයන් සඳහා අවධානය යොමු කර ඇත. එලෙස කර්මාන්තවල හානි පුර්ණයන් සඳහා වන්දි ගෙවීමට වත්මන් රජයට මූල්‍යමය ශකතාවක් පවතින්නේ නම් උමා ඔය ව්‍යාපෘතියෙන් පීඩාවට පත්වුවන්ට වන්දි ගෙවීම සාලාවේ අවි ගබඩාවේ පිපුරුමෙන් පීඩාවට පත්වුවන්ට වන්දි ගෙවීම සාමසරකන්ද නායයෑමෙන් විපතට පත්වුවන්ට වන්දි ගෙවීමට රජය මැලිවන්නේ ඇයි? සැබැවින්ම එලෙස වන්දි ගෙවීමක් සිදුවේවි ද? ඒ කෙතරම් කාලයකට ද? මෙමගින් කියැවෙන්නේ සිංගප්පුරු - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමෙන් මෙරට කර්මාන්තයන්ට බලපෑමක් සිදුවන බව නොවේ ද? මවුබිම ලංකා පදනමේ කමිටු සාමාජික, කුලතුංග රාජපක්ෂ,
සිංගප්පූරුවෙන් අපි ගෙන්නලා තියෙනවා ඩොලර් මිලයන 1000 කට වැඩි භාණ්ඩ අපි ගෙන්නලා තියෙනවා. සිංගප්පූරුව දැනටමත් කිසිම තීරු බද්දක් අය නොකරන නිසා ඕනෑම භාණ්ඩයක් සිංගප්පූරුවට යවන්න පූළුවන් නිසා සීයක් පමණ තමයි 2016 -2017 අපි අපනයනය කරලා තියෙන්නේ සිංගප්පූරුවට ශ්‍රී ලංකාවේ භාණ්ඩ. මට පේන්නේ නැහැ කිසිම ඵල ප්‍රයෝජනයක් තියෙනවා කියලා කර්මාන්තකරුවන්ට සිංගප්පූරුවට යවන භාණ්ඩවලට.
මෙම ගිවිසුම හරහා සිංගප්පුරුවේ ජාතිකයන්ට පමණක් නොව විවිධ ජාතිකයන්ට මෙරටට පැමිණීමට අවස්ථාව පවතින බවට චෝදනා එල්ල වුවද විෂය භාර අමාත්‍යවරයා ඇතුලු වගකිවයුතු නිලධාරීන් සිදු කළේ එම චෝදනා ප්‍රතික්ෂේප කිරීමයි. එහෙත් අදාළ ගිවිසුම තුළින් සිංගප්පුරු නොවන වෙනත් ජාතිකයින්ට මෙරටට පැමිණීමට අවස්ථාව හිමි ව පවතින බව ඉකුත් 15 වන දා නිකුත් කළ ලියැ‍විල්ලේ 13 වැනි පිටුව සාක්ෂි දරනු ඇති. එහි සඳහන් වන්නේ ශ්‍රී ලංකාවේ කම්කරු ගාස්තු ඉහළ නිසා ඒ පිළිබඳව විකල්ප සලකා බැලිය හැකි බවයි. ඒ අනුව මිලියන 5.8 කට අධික ජනගහනයක් සිටින සිංගප්පුරුවේ ස්ථීර පදිංචිකරුවන් වන මිලියන 2 ක් පමණ වන චීන මලායානු ඉන්දියානු ඇතුලු විවිධ ජනවර්ගයන්ට ද බාධාවකින් තොරව රැකියාවන් සඳහා මෙරටට පැමිණීමේ අවස්ථාව උදා වේ. මවුබිම ලංකා පදනමේ කමිටු සාමාජික, කුලතුංග රාජපක්ෂ
සේවාවන් සම්බන්ධයෙන් සිංගප්පූරුවේ තියෙන නීතිරිති හා අනිත් ඒ ගොල්ලන්ගේ තියෙන යම්කිසි ක්‍ර‍මවත් වැඩපිළිවෙළක් සකස් කරලා තියෙනවා. ආගමන විගමන නීතියටත් ක්‍ර‍මවත්ව සකස් කරලා තියෙනවා. අවාසනාවකට මෙන් ශ්‍රී ලංකාවේ අගාමන විගමන නීතිවත් තාම හරියට හරි ගස්සලා නෑ. සිංගප්පූරු පුරවැසියන් පමණක් නෙවෙයි, සිංගප්පූරුවේ පුරවැසියන් නොවන අය ඒ කියන්නේ පී.ආර්.අයි හෝල්ඩර්ස්ලා කියනවා ඒ ගොල්ලන්ට ඉංග්‍රීසියෙන්. ඒ ගොල්ලන්ටත් පුරවැසිභාවය තියෙන විදිමට අයිතිය තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතිං එතකොට සිංගප්පූරුවේ පුරවැසියන්ට පමණක් නෙවෙයි වෙනත් ක්‍ර‍මවලින් පුරවැසිභාවයට හා සමාන කට්ටියටත් එන්න පුළුවන් කියන ක්‍ර‍මවේදයක් මේ ගිවිසුම යටතේ හරිගස්සලා තියෙනවා.
මේ අනුව බලන කල සිංගප්පුරු - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම තුළ ගැටලු රැසක් පවතින බව අතිශය පැහැදිලිය. ‍අප ඒ පිළිබඳව විමසන සෑම අවස්ථාවකදීම විෂයභාර අමාත්‍යවරයා පමණක් නොව අමාත්‍යංශ බලධාරීන් ද අපට පිළිතුරු ලබාදෙන්නේ නැත. ඒ අනුව මෙලෙස, (1) ගිවිසුම් රහසිගතව සකස් කිරීම. (2) සකස් කළ ගිවිසුම් රහසිගතව අත්සන් කිරීම. (3) ඒ හා සම්බන්ධ රැස්වීම් රහසිගතව පැවැත්වීම මෙය අතිශය ප්‍රශ්න සහගතයි. මෙම ගිවිසුම පිළිබඳව දැනගැනීමට ජනතාවට ඇති අයිතිය තහවුරු කරමින් එය අත්සන් තැබීමට පෙර ඒ පිළිබඳව පාර්ලිමේන්තු විවාදයක් නොගත්තේ ඇයි? සැගවිය යුතු කරුණු තිබුණු නිසා බැඳුම්කර විවාදයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් මහතා මගින් එම විවාදය කල්දමා ගත් ආකාරය මෙරට ජනතාවට ද අමතක නැත. සිංගප්පුරු - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම ද එවැනි ප්‍රශ්න සහගත ජනතාවට සැඟවිය යුතු එකක්ද යන්න දැන් දැන් ජනතාවට සැක මතු වේ. ජනතාවට සත්‍ය වසන් කොට ගිවිසුම අත්සන් තැබීමෙන් පසු එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පළක් නොවන්නේ එහෙයිනි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පා.ම, වාසුදේව නානායක්කාර,
මේ ගිවිසුම පිටු දාහකට වැඩියි .ඉතින් ඒ තරම් ලොකු ගිවිසුමක් පාර්ලිමේන්තුව තුළ විවාදයට ගැනීමේදී අපිට සෑහෙන කාලයක් අවශයි. ඉතින් ඒ අනුව පාර්ලිමේන්තුව තුළ සාකච්ඡාවක් විවාදයක් වුණානම් හුගාක් තොරතුරු කරුණු මේ රටේ එළිදැක්වෙනවා. ඒ නිසා මම හිතන්නේ එහෙම ඉදිරිපත් නොකරපු එක වරදක්. එදා ඒ විවාදය අවසන් වනකන් යන්නත් බැරිවුණා. සභාව අවසන් වුණා කල්වේලා ඇතුව
ජනතා විමුක්ති පෙරමුණේ පා.ම, සුනිල් හඳුන්නෙත්ති,
අදටත් මේක පාර්ලමේන්තුවට ඉදිරිපත් කරලා නෑ. කවුරු හර කියනවා නම් මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා කියලා මම අහනවා භාෂා 3 න්ම මොකක් හරි ගිවිසුමක් පාර්ලමේන්තුවට ඉදිරිපත් කරන්න ඕනේ. ඒ ගිවිසුම දැකලා විවාද කරපු අය පාර්ලමේන්තුවේ නෑ. දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා කල් තැබීමේ විවාදයක් ගෙනල්ලා සිංගප්පුරු ගිවිසුම නොදැක විවාද කළා. මනමාලි නොදැන කසාද බැන්දා වාගේ
නීතිපතිවරයාගේ නෛතික අනුමැතියක් ගිවිසුමට ලැබී ඇති බව ද සඳහන් ය. එමෙන්ම ගිවිසුම පසුපස සිටින ප්‍රධානතම පාර්ශවකරුවන් දෙපළ පිළිබඳව ද මෙරට ජනතාව ඉතා හොඳින් දනි. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පිහිටෙන් අගමැති ධූරයට පත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනතා වරමක් නොලැබුණ ද ජාතික ලැයිස්තුවෙන් පාර්ලමේන්තුවට පැමිණි මලික් සමරවික්‍රම අමාත්‍යවරයායි. අප යළි යළි ත් රජයට අභියෝග කරන්නේ ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කරමින් අප විමසන කාරණාවලට නිසි පිළිතුරු ලබාදෙන කිල්ලෝටයේ හුණු නොමැති ඇමතිවරයෙක් එවන ලෙසයි.