නවක වදය නිසා සිසුන් 637ක් සරසවි අධ්‍යාපනය හැර යති

නවක වදය නිසා වසරක් තුළ සිසුන් 637ක් සරසවි අධ්‍යාපනය හැර යති

by Staff writer 18-08-2018 | 6:40 AM
COLOMBO (News 1st) - 2016/2017 අධ්‍යයන වර්ෂය තුළදී සිසුන් 637 දෙනෙකු විශ්වවිද්‍යාල අධ්‍යාපනය ප්‍රතික්ෂේප කර ඇතැයි උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. අමාත්‍යවරයා පැවසුවේ, නවක වදය හේතුවෙන් අදාළ සිසුන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ප්‍රතික්ෂේප කර ඇති බව ය. නවක වදයට ගොදුරු වන සිසුන්ගේ පැමිණිලි අනුව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පොලිස්පතිවරයා විසින් නියෝජ්‍ය පොලිස්පතිවරුන් මගින් පොලීසිවලට උපදෙස් ලබා දී ඇති බව ඔහු සඳහන් කළේ ය. උසස් අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ, පොලීසිය නවක වදය සිද්ධීන් පිළිබඳව නවක වදය පනතේ වගන්ති අනුව අපරාධ නීතිය යටතේ නඩු පවරනු ඇති බව ය. නවක වදය පනත යටතේ වරදකරුවන් වන අයට අධිකරණය මගින් බරපතල වැඩ සහිතව අවුරුදු 10 දක්වා සිර දඬුවම් නියම කළ හැකි බව ද අමාත්‍යවරයා පැවසුවේ ය. මේ අතර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් සිල්වා මහතා පැවසුවේ, නවක වදය පිළිබඳව පැමිණිලි කිරීම සඳහා ප්‍රතිපාදන කොමිසම මගින් විශේෂ පැමිණිලි ඒකකයක් පවත්වාගෙන යන බව ය. ඊට පැමිණිලි 417ක් ලැබී ඇති බව ඔහු පැවසුවේ ය.