දිස්ත්‍රික්ක 3කට පැන වූ නාය යාමේ අවදානම තවදුරටත්

දිස්ත්‍රික්ක 3කට පැන වූ නාය යාමේ අවදානම තවදුරටත්

by Staff writer 18-08-2018 | 7:17 AM
COLOMBO (News 1st) - අධික වැසි සමග රත්නපුර, නුවරඑළිය සහ ගම්පහ දිස්ත‍්‍රික්ක සඳහා නිකුත් කළ නාය යාමේ අනතුරු ඇඟවීම අද පස්වරුව දක්වා ක්‍රියාත්මක බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ, ඒ අනුව රත්නපුර දිස්ත‍්‍රික්කයේ පැල්මඩුල්ල සහ ඇහැලියගොඩ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලත්, නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ කොත්මලේ සහ අඹගමුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් සහ ගම්පහ දිස්ත‍්‍රික්කයේ බෑවුම් සහිත ප‍්‍රදේශවල මෙම නාය යාමේ අවදානම පවතින බව ය. මේ අතර මධ්‍යම කඳුකරය ඇතුළු ප්‍රදේශ රැසකට තවදුරටත් තද වැසි සහ සුළං අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. දිවයින හරහා මධ්‍යම, වයඹ, උතුරු මැද, නැගෙනහිර, දකුණ, සබරගමුව සහ බස්නාහිර පළාත්වලට පැයට කිලෝමීටර 50ත් 60ත් දක්වා තරමක තද සුළං තත්ත්වයක් විටින් විට ඇති විය හැකි බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශානිකා පියුමලී දිසානායක මහත්මිය පැවසුවා ය. ඇය පැවසුවේ, මධ්‍යම සහ සබරගමුව පළාත්වලටත් කළුතර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ය. මධ්‍යම සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75කට වැඩි තද වැසි බලාපොරොත්තු වන බව ශානිකා පියුමලී දිසානායක මහත්මිය පැවසුවා ය. දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව ද ඇය පැවසුවා ය.