දහසක් ප්‍රශ්න මැද ජනතාව දුක් විඳිද්දි සැප විඳින්න යන කුරුණෑගල නගරාධිපති

by Staff writer 18-08-2018 | 8:56 PM

COLOMBO (News 1st) - කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රී දීමනා 125% කින් ඉහළ දැමීමට ගත් තීරණය මේ දිනවල වඩාත් කතාබහට ලක්වන මාතෘකාවකි.

මේ අතර කුරුණෑගල මහ නගර

සභාවේ

නගරාධිපතිවරයා ද රුපියල් මිලියන 20 කට අධික වටිනාකමකින් යුත් ජගුවර් වර්ගයේ මෝටර් රථයක් මිලදී ගැනීමට සූදානම් වන බවට වාර්තා වේ. මෙවර පැවති පළාත් පාලන මැතිවරණයෙන් පොදු ජන පෙරමුණෙන් කුරුණෑගල නගර මහ නගර සභාවට තරග වැද එහි නගරාධිපති ලෙස තේරිපත්වූයේ තුෂාර සංජීව මහතායි. ලංකාවේ තුන්වැනි විශාලතම දිස්ත්‍රිකයවන කුරුණෑගල දිස්ත්‍රිකයේ 10% කට අධික සංඛ්‍යාවක් විරැකියාවෙන් පෙළෙන අතර 20% කට අධික සංඛ්‍යාවකට පොදු යටිතල පහසුකම් හෝ නොමැති බව 2016 වර්ෂයේ ගම්මැද්ද ගෙයින් ගෙට වැඩසටහනෙන් සිදු කළ සමීක්ෂණයෙන් අනාවරණය විය. සිය නිවසේ සිට නගරාධිපතිවරයාට නගර සභාවට යාමට ඇත්තේ කිලෝමීටර් 2 යි මීටර් 600 ක පමණ දුරකි. එවැනි පසුබිමක් තුළ මහජනතාවගේ කෝටි ගණනක් වූ බදු මුදල් වැයකර තම සුඛ විවරණය පමණක් සිතිම කණගාටුදායක තත්ත්වයක් නොවේ ද? ජනතා විමුක්ති පෙරමුණේ වයඹ පළාත් සභා මන්ත්‍රී, නාමල් කරුණාරත්න,
මේ කුරුණෑගල නගර සභාව, නගරාධිපතිවරයාට රාජකාරි කටයුතුවලට යන්න. කෝටි දෙකයි ලක්ෂ 15 ක වාහනයක් අවශ්‍ය ද? ඒ වාහනේ ඇවිල්ලා ජගුවර් එස්.එෆ්.ඒ විතරක් නෙමෙයි. අනෙකුත් මන්ත්‍රීවරුන්ට පොදුවේ පාවිච්චි කරන්න කියලා ටොයොටා හයිෆ් 89 ලක්ෂ අනු දාහක වෑන් එකකුත් ගන්න මේවෙනකොට ඇනවුම් කරලා තිබෙනවා. මේ වෙනකොට මේක අනුමත වෙලා තිබෙනවා. ඒ නිසා මේක වහාම නවත්වන්න ඕන. මහින්ද මහත්තයෝ මෙන්න ඔබතුමාලගේ නගරාධිපතිවරු මේ රටේ මහජනතාවගේ මුදල් කාබාසිනිය කරන හැටි. අගමැතිතුමාට කාර් දෙකක් ගත්තා. ලක්ෂ 6000 ක් වියදම් කරලා. ඊට අමතරව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට ඇමතිකම් දරන්නේ නැති මන්ත්‍රීවරුන්ට ආණ්ඩු පක්ෂයේ ලක්ෂ 7 කට ආසන්න පැකේජ් එකක් සහන ගොඩක් ලබාදෙන්න කැබිනට් එකට යෝජනාවක් ආවා. දැන් බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරුන්ගේ පස්ස පැත්ත තියන්න ලක්ෂ හයහමාරක් වටින පුටු ගේනවා. ඊට පස්සේ කොළඹ මහනගර සභාවේ නගරාධිපතිතුමියගේ පස්සපැත්ත තියන්න ටොයිලට් එක ප්‍රතිසංස්කරණය කරන්න ලක්ෂ 59 ක් වියදම් කරනවා. ඊට පස්සේ කුරුනෑගල නගරා සභාවේ නගරාධිපතිතුමාගේ පස්ස පැත්ත තියන්න කෝටි දෙකයි ලක්ෂ 15 ක් වියදම් කරනවා. දැන් මේ පස්ස පිළිබඳ ප්‍රශ්නයක් තියෙන්නේ. මේගොල්ලන්ගේ පස්ස තියන්න තමයි මේ තරම් මහජන මුදල් දැන් වියදම් කරන්නේ. මොලේ මස්තිස්කය සමහර විට පස්ස පැත්තට බැහැලද දන්නේ නැහැ. ඒ නිසයි මොළය ආරක්ෂා කරගන්න ඕනේ.