කේරළ ප්‍රාන්තයේ මිය ගිය සංඛ්‍යාව 324ක් දක්වා ඉහළට

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට බලපෑ අයහපත් කාලගුණයෙන් මිය ගිය සංඛ්‍යාව 324ක් දක්වා ඉහළට

by Staff writer 18-08-2018 | 7:39 AM
(News 1st) - ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට බලපා ඇති අධික වැසි සහිත අහයපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මිය ගිය පිරිස 324ක් දක්වා ඉහළ ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ සියවසකට පමණ පසුව දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට බලපැ දරුණුතම කාලගුණ විපර්යාසය මෙය බව ය. කේරළයේ දිස්ත්‍රික්ක 14න් 13කටම කාලගුණය පිළිබඳව රතු නිවේදන නිකුත් කර ඇති අතර අයහපත් කාලගුණයෙන් අවතැන් වූ පුද්ගලයින් 223,123 දෙ‍නෙකු අවතැන් කඳවුරු 1500ක පමණ රඳවා ඇති බව කේරළ ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය පෙනාරි විජයාන් ප්‍රකාශ කළේ ය. ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කළේ, නාවික හමුදාවේ කණ්ඩායම් 42ක්, යුද හමුදාවේ කණ්ඩායම් 16ක්, වෙරළ ආරක්ෂක බලකා කණ්ඩායම් 28ක් සහ ජාතික ආපදා සහන සේවා කණ්ඩායම් 39ක් ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා යොදවා ඇති බව ය. ගංවතුරින් කොටු වී සිටින පුද්ගලයින් බේරා ගැනීමට සහ අවතැන්වූවන්ට සහන සැලසීම සඳහා ‍ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා 11ක් සහ බෝට්ටු 200ක් පමණ යොදවා තිබේ. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මොදි සඳහන් කර ඇත්තේ, කේරළ ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය පෙනාරි විජයාන්ගෙන් තමන් දුරකතනය ඔස්සේ කරණු විමසූ බවත් එ අනුව අද දිනයේ කේරළ ප්‍රාන්තයේ සංචාරය කිරීමට තමන් අපේක්ෂා කරන බවත් ය. පවතින තත්ත්වය හමුවේ එරට විදුලි සංදේශ සමාගම් විසින් ප්‍රාන්ත වැසියන්ට නොමිලේ දුරකතන ඇමතුම් ලබා ගැනීමේ අවස්ථාව ලබා දී තිබේ. එරට කාලගුණ බලධාරීන් සඳහන් කළේ, පවතින අයහපත් කාලගුණ තත්ත්වය ඉදිරි දින කිහිපයේදී ද අපේක්ෂා කළ හැකි බව ය. මේ අතර ඉන්දුනීසියාවේ ෆ්ලොස් මුහුදු කලාපය ආශ්‍රිතව ඊයේ රාත්‍රියේ මැග්නිටියුඩ් ඒකක 6.5ක ප්‍රබලත්වයෙන් යුත් භූ චලනයක් සිදුව තිබේ. විදෙස් වාර්තා පැවසුවේ, ඉන්දුනීසියාවේ බීමා නගරයට කිලෝමීටර් 174 ක දුරින් බටහිර දෙසින් පිහිටි ටෙංගාරා ප්‍රදේශයේ මෙම භූ චලනය සිදුව ඇති බව ය. ‍‍පසුගිය දින කිහිපය තුළ ඉන්දුනීසියාව ආශ්‍රිතව ඇති වූ භූ චලනයන් හේතුවෙන් පුද්ගලයින් 460කට ආසන්න පිරිසක් මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කළේ, කොස්ටරිකාහි ග්ලො‍ෆිටො ආශ්‍රිතව මැග්නිටියුඩ් ඒකක 6.0ක ප්‍රබලත්වයෙන් යුත් භූ චලනයක් සිදුව තිබෙන බව ය. එමගින් සිදු වූ හානිය පිළිබඳව තොරතුරු මෙතෙක් වාර්තා වී නොමැත.