හිටපු ජනපතිගෙන් CIDය පැය 3ක් ප්‍රශ්න කරයි

හිටපු ජනපතිගෙන් CIDය පැය 3ක් ප්‍රශ්න කරයි

by Staff writer 17-08-2018 | 7:31 PM
COLOMBO (News 1st) - හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද ප්‍රකාශයක් සටහන් කර ගත්තේ ය. ඒ, මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහර දී පසුව නිදහස් කිරීමේ සිද්ධිය පිළිබඳව සිදු කරන පරීක්ෂණයට අදාළව ය. අද පෙරවරු 11.20ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් කොළඹ විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසට පැමිණියහ. ඒ වන විට වෙනත් කටයුත්තක් සඳහා හිටපු ජනාධිපතිවරයා නිවසින් පිටතට ගොස් සිටි අතර පෙරවරු 11.30 පමණ වන විට ඔහු ආපසු පැමිණියේ ය. හිටපු ජනාධිපතිවරයා නිල නිවසට පැමිණෙන විටත් ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් එහි පැමිණ සිටි අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා හා පළාත් පාලන නියෝජිතයින් සමග ආධාරකරුවන් පිරිසක් ද රැස්ව සිටියහ. මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් නීති විරෝධීව රඳවා තබා ගෙන කෲර වද හිංසාවලට ලක් කර පසුව මුදා හැරු තිබුණේ 2008 මැයි මස 22 වන දා රාත්‍රී 11.39ට පමණ බව විමර්ශනවලින් හෙළි වී තිබේ. සිද්ධියට අදාළව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ කථානායක කරු ජයසූරිය යන මහත්වරුන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර ප්‍රකාශ සටහන් කර ගෙන තිබිණි. එම ප්‍රකාශවලින් හෙළි වූ කරුණු පදනම් කර ගෙන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීහු අද පැය තුනකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා ගත්හ.