බස් සේවක වර්ජනය දෙවැනි දිනටත්: බාධාවකින් තොරව ධාවනය කරන බව බස් හිමියන් කියයි

by Staff writer 17-08-2018 | 6:46 AM

COLOMBO (News 1st) - නව දඩ පත්‍රිකාවට විරෝධය දක්වමින් බස් රථ සේවකයින් පිරිසක් ආරම්භ කළ වර්ජනය අද දෙවැනි දිනටත් ක්‍රියාත්මක බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සේවක සංගමය පවසයි.

සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සේවක සංගමය ඇතුළු බස් රථ සේවකයින් පිරිසක් පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත් කළේ, රජය ඉහළ දැමු රථ වාහන වැරදි සඳහා වූ දඩ මුදල්වලට විරෝධය පළ කරමිනි. සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සේවක සංගමයේ සංවිධායක යූ. කේ. කුමාරරත්න රේණුක මහතා පැවසුවේ, සිය ඉල්ලීම්වලට මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි. ඒ හේතුවෙන්, වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ද ඔහු පැවසුවේ ය. කෙසේ නමුත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගම්වලින් ඊට සහයක් හිමි නොවීය. සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා සඳහන් කළේ, වර්ජනයට තම සමාජිකයින් එක් නොවන බවයි. සමාන්‍ය පරිදි බස් රථ ධාවනයට යොදවා ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේ ය. පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතාගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ, බස් වර්ජනයට තම සංගමයේ සහය ද ලබාදී නොමැති බවයි. බස් රථ ධාවනය අඛණ්ඩව සිදු කිරීමට පියවර ගෙන ඇතැයි ද ඔහු පැවසුවේ ය. ක්‍රියාත්මක බස් වර්ජනයත් සමග මගීන්ට සිදුවන අපහසුතා වැළැක්වීම සඳහා අතිරේක බස් රථ ධාවනයට එක් කර ඇතැයි ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ මෙහෙයුම් අධිකාරි ආර්. ටී. චන්ද්‍රසිරි මහතා ප්‍රකාශ කළේ ය. වර්ජනය ක්‍රියාත්මක කාලසීමාවේ හැකි පරිදි අතිරේක දුම්රිය ධාවනයට එක් කර ඇතැයි අතිරේක දුම්රිය සමාන්‍යාධිකාරි විජය සමරසිංහ මහතා පැවසීය.