ලංකාවේ රාජ්‍ය සේවය ගැන විගණකාධිපති කියූ කතාව

"ලංකාවේ රාජ්‍ය සේවය ලෝකයේ හොඳම අවභාවිතයන් සිද්ධ වෙන රාජ්‍ය අතරින් මුල් තැන අරගෙන තියෙන රාජ්‍යයක්" - විගණකාධිපති

by Staff writer 17-08-2018 | 9:06 PM
COLOMBO (News 1st) - යහපාලනය පිළිබඳව විගණකාධිපතිවරයා අද කුරුවිටදී පළ කළ අදහස් මේ... ගාමිණි විජේසිංහ විගණකාධිපති "ඔබතුමන්ලා දන්නවා ලංකාව කියන්නෙ ලෝකයේ ලංකාවෙ රාජ්‍ය සේවය කියන්නේ ලෝකයේ හොඳම අවභාවිතයන් සිද්ධ වෙන රාජ්‍ය අතරින් මුල් තැන අරගෙන තියෙන රාජ්‍යයක්. ඉතින් ඒ නිසා ඒ රාජ්‍යයේ හොඳම අවභාවිතා තියෙන රාජ්‍යයේ එම අවභාවිතා සොයා බලා වාර්තා කිරීමට තියෙන ආයතනය තමයි විගණකාධිපති දෙපාර්තමේන්තුව. ඒ දෙපාර්තමේන්තුවේ ප්‍ර‍ධානියා තමයි මම. ගුඩ් ගවනර්ස් එහෙම නැත්තන් අපි දැනට සඳහන් කරන යහපාලනය කියන එක වචනෙ දැන් සවුත්තු වෙලා තියෙන්නෙ. හැබැයි ඒ වුණාට ඒ වචනෙ අර්ථය අප්සට් එකක් නැහැ ඒක ගුඩ් ගවනර්ස් අපි ඉංග්ලිෂ්වලින් කිව්වොත් එහෙම. රාජ්‍ය අංශයක තිබිය යුතු වැදගත්ම කාරණයක් තමයි යහපාලනය සහ රාජ්‍ය සේවකයාගේ අවංක භාවය. මේ කාරණා ගොඩ නැගීම සඳහා කළ යුත්තේ කුමක් ද කියන කාරණයත් ඒ වැඩපිළිවෙළ සඳහා නායකත්වය දීම සඳහාත් මට විශාල කාර්ය භාරයක් කරන්න සිද්ධ වෙලා තියෙනවා" විගණකාධිපතිවරයා මෙසේ පවසන්නේ ඇයි? මේ ප්‍රකාශයට හේතු වන්නට ඇති කරුණු මොනවා ද? දූෂණයට එරෙහිව සටන් පාඨ පෙළගස්වමින් එය මැඩපවත්වන ආකාරය ගැන ජනතාවට පොරොන්දු දී බලයට පැමිණ වසර 3ක් ගතව ඇතත් ඒවා ඉටු කිරීමට සමත් වී තිබේ ද? 2015 ජනාධිපතිවරණයෙන් පසු දින 100 ආණ්ඩුව පිහිටුවා සති කිහිපයකින් එනම් 2015 පෙබරවාරි 27 පළමු බැඳුම්කර වංචාව සිදු කළේ ය. මහ බැංකුවේ අධිපති මාමා ඔහුගේ බෑණාට වාසි සහගතව මෙහෙයවූ මේ ගනුදෙනු නිසා එක මොහොතක සිදු වූ පාඩුව රුපියල් මිලියන 700 කට අධික ය. අවුරුදු 30ක් පුරා රටේ ජනතාවට විඳීමට සිදුවන මේ පාඩුව කොපමණ දැයි ගණනය කිරීමට තවමත් හැකි වී තිබේ ද ? මෙතරම් විශාල වංචාවක් සිදුව තිබියදීත් එය ආරක්ෂා කිරීමට අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ වගකිවයුත්තන් කටයුතු කළ අතර 2016 මාර්තු 29 හා 31 යළිත් එවැනිම වංචාවක් සිදු කළේ ය. මේ දෙවැනි බැඳුම්කර වංචාවේ එක් මොහොතක පාඩුව මිලියන 700 ඉක්මවන අතර දශක ගණනක් එම පාඩුව ද විඳීමට සිදු වන්නේ රටේ ජනතාවට ය. වංචාවේ මහ මොළකරුවන් නිදැල්ලේ සිටිද්දී මහ බැංකුවේ අධිපතිවරයා ලෙස ඊට හවුල් වූ අර්ජුන මහේන්ද්‍රන් මේ දක්වාම අතුරුදන් ය. මහේන්ද්‍රන් අතුරුදහන් කළා පමණක් නොව උද්දච්චකම පිළිබිඹු කරමින් ඔහු මැදිහත්වී ගෙනා සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීමට ද දැන් පියවර ගෙන තිබේ. ජාතික ගුවන් සේවය ලෙස රටේ අභිමානය ලෝකයට ගෙන ගිය ශ්‍රීලංකන් සමාගම ලාභ ලබන ආයතනයක් බවට පත් කරන්නේ යැයි පවසා බලයට පැමිණි පිරිස මේ වන විට එය රුපියල් බිලියන 28කට අධික පාඩුවක් ලබන ආයතනයක් බවට පත් කර අවසන් ය. එම පාඩුව දැරීමට සිදුව ඇත්තේ ද රටේ බදු ගෙවන සාමාන්‍ය ජනතාවට ය. අගමැතිවරයාගේ මිතුරු, ඔහුගේ උපදේශක චරිත රත්වත්තේගේ සහෝදර සුරේන් රත්වත්තේ ප්‍රධාන විධායක ධූරයට පත් කර වසර 3ක කාලයකින් සිදු කළ ප්‍රගතියයි ඒ. දැන් සිදු කර ඇත්තේ ගුවන් සමාගමක් පාලනය කිරීම ගැන කිසිදු දැනුමක් නැති රංජිත් ප්‍රනාන්දු නමැත්තා එහි සභාපතිවරයා ලෙස පත් කිරීම ය. මේ තනතුරු සඳහා පත් කිරීමට තිබූ එකම සුදුසුකම අගමැතිවරයා සමග ඇති මිතුරුකමයි. පාසැල් සිසුන්ට ටැබ් පරිගණක ලබා දීමට යැයි පවසමින් ව්‍යාපෘතියක් ආරම්භ කළ අතර එය ටෙන්ඩර් ක්‍රියාවලියේ සිටම අක්‍රමිකතා රැසකින් සමන්විත වූවකි. එම අක්‍රමිකතාවලට වැට බැදුණේ ජනාධිපතිවරයා මැදිහත්වී තාවකාලිකව අත්හිටුවීම නිසා ය. පාසැල් දරුවන්ට නොමිලේ රක්ෂණාවරණයක් ලබා දෙන බව පවසමින් සිදු කළ ගනුදෙනු ද පසුගිය කාලයේ බරපතල සැකයට හේතු විය. ගොවි ජනතාවට ලබා දීම සඳහා බිලියන ගණනක් වැය කර ගෙනා කිරි ගවයින් කිසිදු ප්‍රයෝජනයක් නොගෙන මිය යමින් සිටින අතරවාරයේ තවත් ගවයින් 15000ක් ගෙන්වීම සඳහා අත්තිකාරම් ගෙවා දැමුවේ වසර තුනක කාලය තුළදී ය. අගමැති ලේකම්වරයාගේ බිරිඳ විශ්‍රාම ගැනීමට මසකට පෙර මේ නියෝග දුන් අයුරු දැන් හෙළි වී තිබේ. මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීම ඉතා ඉක්මනින් කළ යුත්තක් බව පවසමින් තුන්වැනි අදියරට ජපානයෙන් ඩොලර් බිලියනයක් නැතහොත් රුපියල් බිලියන 160 කට ආසන්න මුදලක් ලබා ගත්තේ වාණිජ ණයක් ලෙස අධික පොළියකට ය. එහි ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව ද ජපාන සමාගමකට ලබා දුන්නේ රටේ පවතින ප්‍රසම්පාදන ක්‍රියාවලිය අමු අමුවේ උල්ලංඝනය කරමිනි. අධිවේගී මාර්ගයේ දෙවැනි අදියර දේශීය සමාගම්වලට ලබා දුන්නේ රාජ්‍ය බැංකුවලින් ණය නිකුත් කරමිනි. එසේ ණය නිකුත් කළ රාජ්‍ය බැංකුවක් මේ මාර්ගයේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව ලබා ගත් සමාගමකට බිලියන ගණනින් ණය ලබා දී තිබිණි. මේ අයුරින් විවිධ ව්‍යාපෘති සඳහා අදාළ සමාගමට බිලියන 10 ක ණය රාජ්‍ය බැංකුවකින් නිකුත් කළ අතර මේ සමාගමේ විධායක උප සභාපතිවරයා එම බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකි. පුනර්ජනනීය බලශක්තියට ප්‍රමුඛතාව දෙමින් විදුලි බලාගාර රැසක් ඉදිකරන බව පැවසුවත් ගත වූ වසර 3 ඇතුළත කිසිදු මහා පරිමාණ බලාගාරයක් ඉදිකිරීමට අපොහොසත්ව සිටියි. ඒ වෙනුවට විධිමත් ක්‍රියාවලියට පිටින් පෞද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම් අලුත් කළ අතර කෙරවලපිටිය මෙගාවොට් 300 ක බලාගාරය ඉදිකිරීමේ ක්‍රියාවලිය ද අවුල් කර තිබේ. පෞද්ගලික බලාගාර සඳහා රුපියල් මිලියන 400ක් නිසි ක්‍රමයෙන් පිට ගොස් ගෙවීමට බල කළේ ද මේ ආණ්ඩුවේම ප්‍රධානීන් ය. ලොව ප්‍රමුඛ මෝටර් රථ නිෂ්පාදකයෙකු වන වොක්ස්වැගන් සමාගමේ එකලස් කම්හලක් කුලියාපිටියේ ආරම්භ කරන බව පවසා අවසානයේ සිදු කළේ කුමක් ද ? එමගින් සිදු කළේ දේශීය සමාගමකට කම්හල් පහසුකම් සැලසීමයි. රාජපක්ෂ පාලන සමයේ ඩුබායි ගිනුම් නඩත්තු කළ බව කියමින් බලයට පත් වීමට පෙර චෝදනා කළ පුද්ගලයින් සමග බලයට පැමිණීමෙන් පසු තම ව්‍යාපාර පවා එම පුද්ගලයාට විකුණා දැමූ අතර හොරණ මහා පරිමාණ ටයර් කම්හලක් ඉදිකිරීමට බදු සහන ද ලබා දුන්නේ ය. ජනාධිපතිවරයා රටේ ජනතාව වෙනුවෙන් සිතා යහපත් තීරණ ගනිමින් කටයුතු කරද්දී සිදුව ඇත්තේ කුමක් ද? දූෂණ වංචා මැඩලීමට යැයි පවසමින් බලයට පැමිණි වහා පාර්ලිමේන්තුවේ සුළුතරයක් තිබූ පුද්ගලයෙකුට අගමැති ධූරය පිරිනැමීම නම් ජනතාව පැත්තෙත් සිදු වූ අතපසුවීමකි. ජනතා බලයකින් තොරව අගමැති අසුන ලබා ගත් වහා සිදු වූයේ විධායක ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු කිරීමට කුරුමානම් ඇල්ලීම යි. 19 වන සංශෝධනය හරහා එය සිදු කළ අතර වංචා දූෂණවලට බාධාවක් වූ මාධ්‍ය මර්දනයට ගෙනා වගන්ති ඉවත් වූයේ අධිකරණයේ පිහිට මත ය. හොරකම නවතා දමන බව පවසා බලයට පැමිණි පසුවත් සූක්ෂම අයුරින් හොරකමට අනුබල දෙමින් දිගින් දිගටම කටයුතු කළ අතර ඒවා අනාවරණය වෙමින් පීඩනය එල්ල වෙද්දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළේ පක්ෂයට විවිධ පොරොන්දු ලබා දීම ය. නායකත්වයට අභියෝග එල්ල වූ අවස්ථාවලදී වරක් ඔහු කළේ නායකත්ව කවුන්සිලයක් පත් කර කරු ජයසූරිය මහතා සභාපතිවරයා බවට පත් කිරීම ය. යළි යළිත් අභියෝග එල්ල වන විට සරත් ෆොන්සේකා, රවි කරුණානායක ඇතුළු උපනායක මණ්ඩලයක් පත් කරන බව පැවසූ ඔහු අවසානයේ සිදු කළේ තමන්ට සමීප අකිල විරාජ් කාරියවසම් පක්ෂයේ මහ ලේකම් ධූරයට පත් කිරීම පමණි. හිත මිතුරන් සමග ආණ්ඩු පාලනය කරමින් පක්ෂය ද හිතවතුන් සමග පාලනය කරන මෙවැනි නායකයින් ජනතාව ප්‍රතික්ෂේප කළේ වරක් දෙවරක් නොව අවස්ථා 30 කට ආසන්න වාර ගණනකදී ය. ඉහළට මතු වන නායකත්වය දැන් යටපත් කිරීමට උත්සහ කරන්නේ අමුතුම උපක්‍රම යොදා ගනිමිනි. සජිත් ප්‍රේමදාසට විමල් වීරවංශ යොදා පාර්ලිමේන්තුවේදී කළ විවේචනය, සරත් ෆොන්සේකාට එල්ල කරන විවේචන රවි කරුණානායකගේ දේශපාලන අනාගතයට කළ විනාශය ඊට කදිම උදාහරණයි. මෛත්‍රීපාල සිරිසේන, සජිත් ප්‍රේමදාස, නවීන් දිසානායක, ගෝඨාභය රාජපක්ෂ, හරීන් ප්‍රනාන්දු පමණක් නොව අනුර කුමාර දිසානායක වැනි ජනතා නායකයින් කෙරෙහි ඇති ජනතා විශ්වාසය පවසන්නේ ඔවුන් ජනාධිපති අසුන දැරීමට සුදුසු බවට ය. එහෙත් දැන් සිදු වන්නේ ජනතාව ඉදිරියේ දිගින් දිගටම ප්‍රතික්ෂේප වී තිබියදීත් නොයෙක් බොරු ජනතාව ඉදිරියේ පවසමින් බලයේ සිටීමයි. දැන් අවසානයේ ජනතාව කියන්නේ කුමක් ද? බලයේ සිටි අයත් බලයේ සිටින අයත් එකම කණ්ඩායමක් බව ය.