තරු පන්තියේ හෝටලයක සැප විඳි නිලධාරියා කවුද?

නිදහස් කුසලානයේදී තරු පන්තියේ හෝටලයක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදලින් සැප විඳි නිලධාරියා කවුද?

by Staff writer 17-08-2018 | 8:08 PM
COLOMBO (News 1st) - පසුගිය මාර්තු මාසයේ මෙරට පැවති නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලිය අතර වාරයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එහි ප්‍රධාන පරිපාලන නිලධාරියාට කළ ගෙවීම් පිළිබඳව අනාවරණයක් මේ... නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියේදී විධායක කමිටුව, සභාපති උප සභාපති කුටි වෙනුවෙන් සහ සාමාජිකයින්ගේ කුටි වෙනුවෙන් ආහාර පාන සැපයීම සඳහා තරු පන්තියේ හෝටලයකට රුපිලයල් අනූ ලක්ෂ අසූ පන්දහස් හාරසිය දහයයි ශත තිස් අටක් ගෙවා තිබේ. මෙම බිල්පතට ඇතුළත් තවත් ගෙවීමක් වන්නේ ප්‍රධාන පරිපාලන නිලධාරී අරුණ ද සිල්වා මහතා වෙනුවෙන් සිදු කරනු ලැබූ රුපියල් හාරලක්ෂ තිස් හය දහස් හයසිය දහයයි ශත එකක බිල් පතයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවයේ නියුතු නිලධාරියෙකුට මෙවැනි වරප්‍රසාදයක් ලබා ගත හැකි ද යන්න ගැටලු මතු කරන්නකි. බස්නාහිර පළාත තුළ ජීවත් වන ප්‍රධාන පරිපාලන නිලධාරී අරුණ ද සිල්වා මහතා අර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග සඳහා මෙලෙස තරු පන්තියේ හෝටලයක නැවතීම සඳහා තිබූ අවශ්‍යතාව කුමක් ද? ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කිලෝ මීටර් 10ට අඩු දුරකින් පිහිටි ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති නිදහස් කුසලන ක්‍රිකට් තරගාවලියේ තරග 7 වෙනුවෙන් තරු පන්තියේ හෝටලයක් වෙන් කර ගැනීම සඳහා ප්‍රධාන පරිපාලන නිලධාරියා කටයුතු කළේ කාගේ අනු දැනුම මත ද? අවස්ථා 19කදී ඔහුට නවාතැන් ගැනීම සඳහා හෝටල් කාමර වෙන් කර ගැනීමට පමණක් ගෙවා ඇති මුදල රුපියල් හාර ලක්ෂ අටදහස් හාරසිය තිස් හතරයි ශත පනස් හතරකි. ප්‍රධාන පරිපාලන නිලධාරියාගේ ඇඳුම් පිරිසිදු කිරීම වෙනුවෙන් ගෙවනු ලැබූ රුපියල් විසිහත් දහස් දෙසිය පණහයි ශත හතලිස් හතක මුදලක් ද ඊට ඇතුළත් ය. කුලී රථ වෙනුවෙන් ප්‍රධාන පරිපාලන නිලධාරී අරුණ ද සිල්වා මහතාගේ බිල්පතෙහි රුපියල් 925ක මුදලක් ඇතුළත්ව තිබේ. පුදුමයට කරුණ වන්නේ, එවැනි මුදලක් බිල් පතට ඇතුළත් වුව ද ඔහු වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් ලක්ෂයක මුදලක් සහ ඉන්ධන ලීටර් 150ක් මාසිකව ලබා දීම ය. තවත් පුදුමයට කරුණක් වන්නේ සිය හෝටල් බිල්පත සඳහා අනුමැතිය ලබා දෙන නිලධාරියා වන්නේ ප්‍රධාන පරිපාලන නිලධාරී අරුණ ද සිල්වා මහතාම වීම යි. මෙවැනි පහසුකම් ලබන ප්‍රධාන පරිපාලන නිලධාරී අරුණ ද සිල්වා මහතා මෙලෙස හෝටල් කාමර භාවිත කර ගෙවීමට සිදු වූ මෙම මුදල සම්බන්ධයෙන් පරීක්ෂණයක් ක්‍රියාත්මක කිරීමට ක්‍රියා කර තිබුණ ද ඒ පිළිබඳව සිදු වූයේ කුමක්දැයි අනාවරණය නොවේ. ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් කටයුතු කළ යුතු නිලධාරීන් සහ පරිපාලකයින්, මෙවැනි ක්‍රියා හරහා තවදුරටත් සිදු කරනු ලබන්නේ සිය සුඛ විහරණය උදෙසා කටයුතු කර ගැනීම නොවේ ද? ක්‍රීඩාවේ හෙට දවස වෙනුවෙන් සිය වෘත්තීමය ගරුත්වය ආරක්ෂා කළ හැකි සෑබෑ වෘත්තිකයින් සහ පරිපාලකයින් ක්‍රීඩාව වෙනුවෙන් පත් වන තෙක් මෙවැනි ක්‍රියා වැළැක්වීමට නොහැකි වනු ඇති. මේ සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා අප ක්‍රීඩා අමාත්‍යවරයා වෙත ලිපියක් සහ අදාළ ලිපි ලේඛන යොමු කරනු ලැබුවේ ය. ජනාධිපති නීතීඥ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතානනී, මේ පිළිබඳව ඔබ ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ස්පෝර්ට්ස් ෆස්ට් තවදුරටත් අවධානයෙන්.