මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අදයි

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද විථි සංචාරය කෙරේ

by Staff writer 16-08-2018 | 11:28 AM

COLOMBO (News 1st) - මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද පස්වරුවේ විථි සංචාරය කිරීමට නියමිත වේ.

ඒ, දේවාල අභ්‍යන්තර පෙරහැර 5 ක් පැවැත්වීමෙන් අනතුරුවයි. මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම පසුගිය 12 වන දා සිදු කෙරුණි. මේ අතර දළදා පෙරහැර නැරඹීමට පැමිණෙන සැදැහැවතුන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි. මහනුවර ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ, ඒ සඳහා පොලිස් නිලධාරීන් 4000 ක් යොදවා ඇති බවයි. ආරක්ෂක රාජකාරි සඳහා හඳුනාගත් ස්ථානවලට පොලිස් විශේෂ කාර්ය බලකාය ද යොදවා ඇත. පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ තම ගමන් මලු හා වටිනා දෑ සොරුන්ගෙන් හා ගැට කපන්නන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා විමසිලිමත් වන ලෙසයි. ඇසළ පෙරහැර මංගල්‍ය හේතුවෙන් ලබන 25 වන දා දක්වා මහනුවර නගරයේ විශේෂ රථ වාහන සැලැස්මක් ද ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කළේ ය.