කේරලයේ ගංවතුරෙන් මිය ගිය සංඛ්‍යාව ඉහළට

කේරලයේ ගංවතුරෙන් මිය ගිය සංඛ්‍යාව 67 ක් දක්වා ඉහළට

by Staff writer 16-08-2018 | 8:41 AM

අධික වර්ෂාවෙන් හටගත් ආපදා තත්ත්වයෙන් ඉන්දීය කේරල ප්‍රාන්තයේ ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් සංඛ්‍යාව 67 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ දිනයේ පමණක් වාර්තා වූ මරණ සංඛ්‍යාව 25 කි. මෙම තත්ත්වය හමුවේ ප්‍රාන්තයට රතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය පයිනරායි විජයන් පියවර ගත්තේ ය. ඔහු පැවසූවේ, ශතවර්ෂයකින් කේරල ප්‍රාන්තයට බලපෑ දරුණුම මෝසම් සමය මෙය බවයි. ඉතිහාසයේ ප්‍රථම වරට ප්‍රාන්තයේ පිහිටි ප්‍රාන්තයේ ජලාශ 39 න් 35 කම වාන් දොරටු මේ වනවිට විවෘත කර ඇත. ගංවතුර හමුවේ ප්‍රාන්තයේ පාසල් රැසකට අද නිවාඩු ලබා දී ඇති අතර විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල පැවැත්වීමට නියමිතව තිබූ විභාග ද කල්දමා තිබේ. මෙම ගංවතුර තත්ත්වය ලබන සෙනසුරාදා තෙක් පවතිනු ඇතැයි ඉන්දීය කාලගුණ විද්‍යා බලධාරීන් අනාවැකි පළ කළහ. ගංවතුර හමුවේ පුද්ගලයන් 60,000 කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර ඇති අතර සංචාරකයන් අතර ප්‍රචලිත ඉඩුක්කි දිස්ත්‍රික්කයේ මුන්නාර් නැමති ප්‍රදේශයට යාමෙන් වළකින ලෙස ප්‍රාන්ත රජය සංචාරකයන්ගෙන් ඉල්ලා සිටි. ගංවතුර සහ නායයාම් හමුවේ ප්‍රාන්තයේ මහාමාර්ග සහ නිවාස සිය ගණනක් විනාශ වී ඇතැයි ප්‍රාන්ත බලධාරීන් ප්‍රකාශ කර තිබේ. ගංවතුරෙන් ප්‍රාන්තයේ අස්වැන්නට සිදු ව ඇති පාඩුව ඉන්දීය රුපියල් කෝටි 8000 කට අධිකය.