පෞ. බස් සේවකයින් අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක

by Staff writer 15-08-2018 | 6:24 PM
COLOMBO (News 1st) : අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට පෞද්ගලික බස් සේවකයින් පිරිසක් සූදානම් වේ. ඒ, වැඩි කළ දඩ මුදල් අඩු කරන ලෙස ආණ්ඩුවට බල කිරීම ඇතුළු කරුණු ගණනාවක් මුල් කර ගනිමිනි. සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සේවක සංගමයේ සංවිධායක යූ. කේ. කුමාරරත්න රේණුක මහතා පැවසුවේ, මේ පිළිබඳව වගකිවයුතු ආයතන දැනුවත් කළ ද සාධාරණයක් ඉටු නොවූ බවයි. කෙසේ වෙතත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගම් වැඩවර්ජනයට සහය නොදැක්වීමට තීරණය කර තිබේ. අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති සරත් විජිත කුමාර මහතා පැවසුවේ, වර්ජනයට තමන් එක් නොවන බවයි. සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පැවසුවේ, තම සංගමය වර්ජනය සම්බන්ධයෙන් මධ්‍යස්ථ මතයක සිටින බවයි.