තරුණයින් 11ක් පැහරගෙන අතුරුදන් කළ සිද්ධියට සැකපිට හිටපු නාවික නිලධාරී චන්දන හෙට්ටිආරච්චි රිමාන්ඩ්

by Staff writer 15-08-2018 | 6:56 PM
COLOMBO (News 1st) : හිටපු නාවික හමුදා ලුතිතන් කමාන්ඩර් ප්‍රසාද් චන්දන හෙට්ටිආරච්චි මහතා ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ඒ සැකකරු අද කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. සුදු වෑන් භාවිත කරමින් තරුණයින් ඇතුළු 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ 10 වන සැකකරු හිටපු නාවික හමුදා ලුතිතන් කමාන්ඩර් ප්‍රසාද් චන්දන හෙට්ටිආරච්චි මහතායි. ඒ සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන සඳහා අවශ්‍ය ප්‍රකාශ බන්ධනාගාරය තුළදී සැකකරුගෙන් ලබා ගැනීමට අපරාධ පරික්ෂණ දෙපාර්තනේතුවට අවසර ලබා දෙන ලෙසට ද මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළා ය. සැකකරු පසුගිය 13 වන දා පස්වරු 2 ට පමණ කොළඹ ලෝටස් පාරේදී අත්අඩංගුවට ගැනණ. එම අවස්ථාවේදී ඔහුගේ ඡායාරූපය ඇතුළත් කර වෙනත් පුද්ගලයකුගේ නමින් සකස් කළ ජාතික හැඳුනුම්පතක් සන්තකයේ තිබුණු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කළේ ය. එම දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ, සැකකරු ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර සකස් කරගත් ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් 2017 අප්‍රේල් 17 වන දා මලයාසියාවට ගොස් ඇති බවයි. සැකකරුට ව්‍යාජ ලේඛන සකස් කර ගැනීමට සහ රටින් පලායාමට නාවික හමුදාවේ හිටපු උසස් නිලධාරියෙකු සහය ලබාදී ඇති බවට දැඩි සැකයක් පවතින බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයේදී ප්‍රකාශ කළේ ය. අධිකරණය මගහැර සිටි එම සැකකරුට රටින් පලා යාමට යම් අයෙකු ආධාර අනුබල දී ඇත්නම් ඒ සම්බන්ධයෙන් පුළුල්ව විමර්ශන කර වහා ම වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළා ය. විදේශගත වු මෙම සැකකරු 2018 මාර්තු මස යළි දිවයිනට පැමිණ දොම්පේ ප්‍රදේශයේ පිහිටි වත්තක මුරකරුවෙකු ලෙස හා වතු හිමියාගේ නිවසේ අරක්කැමියා ලෙස කටයුතු කර ඇතැයි අනාවරණය වී තිබෙන බව ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයේදී කියා සිටියේ ය.