by Staff writer 15-08-2018 | 1:27 PM
COLOMBO (News 1st) - මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැර ගෙන ගොස් වද හිංසා පැමිණ වීමේ සිද්ධියට අදාළව ලබන 17 වන දා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, කොළඹ විජේරාමේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේදී පෙරවරු 10.00ට එම ප්‍රකාශය ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සැලසුම් කර ඇති බව ය.
සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන්නැයි හිටපු ජනාධිපතිවරයාට අවස්ථා ගණනාවකදී කළ දැනුම් දීමට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් මේ පියවර ගත් බව පොලීසිය ප්‍රකාශ කළේ ය.
මෙම සිද්ධියට අදාළව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ද කථානායක කරු ජයසූරිය මහතා විසින් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ ලබා දී තිබිණි.
මෙම සිද්ධියට ආධාර අනුබල දුන්නැයි හිටපු යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මේජර් ජනරාල් අමල් කරුණාසේකර සහ යුද හමුදා බුද්ධි බලකායේ මේජර් ප්‍රභාත් ශ්‍රී සීවලී බුලත්වත්ත යන දෙදෙනා ඇතුළු බුද්ධි නිලධාරීන් 6 දෙනෙක් මේ වන විට ඇප මත මුදා හැර සිටිති.
2008 මැයි මස 22 වන දා රාත්‍රි 11.39ට පමණ මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැර ගෙන ගොස් නීති විරෝධී ලෙසින් රඳවා තබා ගෙන කෲර වද හිංසාවලට ලක් කර පසුව මුදා හැරිණි.