ඉන්දියාවේ 72 වන නිදහස් සැමරුම අදයි

ඉන්දියාවේ 72 වන නිදහස් සැමරුම අදයි

by Staff writer 15-08-2018 | 8:58 AM
(News 1st) - ඉන්දියාවේ 72 වන නිදහස් දින සැමරුම අදයි. 1947 අගෝස්තු 15 වන දින ඉන්දියාව බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීම පදනම් කර ගනිමින් මෙම දිනය සමරයි. නිදහස සැමරෙන අද දින, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රජයේ අරමුදලින් ක්‍රියාත්මක වන ලොව විශාලත ම සෞඛ්‍ය වැඩසටහන ආරම්භ කිරීමට නියමිත ය. ආයුෂ්මාන් භාරත් ලෙස හැඳින්වෙන මෙම වැඩසටහනෙහි අරමුණ වන්නේ, දරිද්‍රතාවයෙන් පෙළෙන සෑම ඉන්දීය පවුලකටම වාර්ෂිකව ලක්ෂ 5ක සෞඛ්‍ය ආවරණයක් ලබා දීම ය. මෙමගින් දිළිඳු, දුෂ්කර ප්‍රදේශවල දිවි ගෙවන පවුල් වෙත විශේෂ අවධානය යොමු කෙරෙනු ඇති. ඉන්දීය මධ්‍යම රජය මේ වෙනුවෙන් වෙන් කර ඇති මුදල රුපියල් කෝටි 10000කි. සුපුරුදු පරිදි මෙවර ද ඉන්දීය නිදහස් දින සැමරුම වෙනුවෙන් තමන් පවත්වන කතාවට ඇතුළත් විය යුතු දේ පිළිබඳව ජනතාවගෙන් අදහස් විමසීමට ඉන්දීය අගමැති පියවර ගත්තේ ය. 2019 වසරේ පැවැත්වෙන ලෝක් සභා මැතිවරණයට පෙර නරේන්ද්‍ර මෝදි පවත්වන අවසන් නිදහස් දින සැමරුම් කතාව මෙය වනු ඇති. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ස්ත්‍රී දූෂණය, අධ්‍යාපනය ආදී මාතෘකා වෙත අවධානය යොමු කරන ලෙස අග්‍රාමාත්‍යවරයාට ඉල්ලීම් ලැබී ඇති බව ය. නිදහස් දින සැමරුම හමුවේ ඉන්දියාවේ රතු බලකොටුව, නවදිල්ලිය සහ සෙසු ප්‍රධාන නගරවල ආරක්ෂාව තර කර තිබේ. නවදිල්ලි අගනුවර ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 70000 ක් යොදවා ඇති අතර රතු බලකොටුවට යොදවා ඇති පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 10000කි. රතු බලකොටුව වෙත දිවෙන මාර්ගයේ සී.සී.ටී.වී. කැමරා 500කට අධික සංඛ්‍යාවක් ද , රතු බලකොටුවේ සී.සී.ටී.වී. කැමරා 200කට අධික සංඛ්‍යාවක් ද සවි කර තිබේ. තව ද ස්නයිපර් තුවක්කු කණ්ඩායමක්, කමාන්ඩෝ භට කණ්ඩායම් මෙන් ම ගුවන් යානා නාශක තුවක්කු ද රතු බලකොටුවට යොදවා අවසන් ය.