වර්ෂාවත් සමග ජලාශ්‍ර කිහිපයක වාන් දොරටු විවෘත කෙරේ

අධික වර්ෂාවත් සමග ජලාශ්‍ර කිහිපයක වාන් දොරටු විවෘත කෙරේ

by Staff writer 15-08-2018 | 10:41 AM
COLOMBO (News 1st) - මධ්‍යම කඳුකරයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග ලක්ෂපාන ඉහළ කොත්මලේ, කැනියන්, නෝට්න් බ්‍රිජ් හා පොල්ගොල්ල යන ජලාශ්‍රවල වාන් දොරටු මේ වන විට විවෘත කර තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නුවරඑළිය දිස්ත්‍රික් කාර්යාලය සඳහන් කළේ, ඉහළ කොත්මලේ ජලාශ්‍රයේ වාන් දොරටු 3ක් විවෘත කර ඇති බව ය. ලක්ෂපාන ජලාශ්‍රයේ එක් වාන් දොරටුවක් විවෘත කර තිබේ. මේ අතර වර්ෂාවත් සමග පොල්ගොල්ල ජලාශ්‍රයේ වාන් දොරටු 2ක් අඩි තුනක් බැගින් විවෘත කර ඇති බව මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ ය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව මධ්‍යම හා සබරගමුව පළාත් ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද දිනයේ මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි ය. වැසි සමග එම ප්‍රදේශ හරහා තද සුළං ද ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පැවසුවේ ය.