20 යි 20 තරගයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙ

20 යි 20 තරගයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක්

by Staff writer 14-08-2018 | 7:54 AM
News 1st : ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා කණ්ඩායම් අතර පවත්වන එකම පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගය අද පැවැත් වේ. පුරා මාසයකට අධික කාලයක් ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවති දකුණු අප්‍රිකා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ අවසන් තරගය ලෙස මෙම පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගය පැවැත්වේ. තරගය පැවැත්වෙන්නේ කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයී. තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය දා නිල වශයෙන් නිවේදනය කළ ද ඊයේ දිනයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් එහි වෙනස්කම් දෙකක් සිදුකළේ ය. ඒ අනුව ශ්‍රී ලංකා 20 යි 20 සංචිතයට, ජෙෆ්රි වැන්ඩසේ සහ ශෙහාන් මධුසංක වෙනුවට වේග පන්දු යවන්නන් දෙදෙනෙකු වන ඉසුරු උදාන සහ කසුන් රාජිත ඇතුළත් කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ සවස නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක් වුණේ, ජෙෆ්රි වැන්ඩසේ සහ ශෙහාන් මධුසංක මේ වන විට දකුණු අප්‍රිකා නැගී එන කණ්ඩායම සමග පැවැත් වෙන එක්දින ක්‍රිකට් තරගාවලියට එක්ව සිටින බැවින් අදාළ ක්‍රීඩකයින් කණ්ඩායමට ආදේශ කළ බවයි. අද පැවැත්වෙන තරගය සඳහා නම් කරන ලද සංචිතයට දිනේෂ් චන්දිමාල් ඇතුළත් අතර ඔහුට එරෙහිව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය පනවා තිබූ තරග 6 ක තහනම අවසන් වීමෙන් පසුව නැවතත් ඔහු අද තරග බිමට පිවිසෙයි. මේ දක්වා පන්දුවාර 20යි 20 තරග 52 කට සහභාගී වී ඇති චන්දිමාල් එහිදී ලකුණු 738 ක් රැස්කරගෙන සිටින අතර ඊට අර්ධ ශතක 4 ක් ඇතුළත් ය. මේ වසරේ මාර්තු මාසයේදී බංග්ලාදේශයට එරෙහිව කොළඹදී පැවැති 20යි 20 තරගය චන්දිමාල් සහභාගී වූ අවසන් පන්දුවාර 20යි 20 තරගයයි. දකුණු අප්‍රිකානු පන්දුවාර 20යි 20 කණ්ඩායමේ නිත්‍ය නායක ෆෆ් ඩු ප්ලෙසිස් ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන් අද තරගයේදී කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරී ඇත්තේ තුන් ඉරියව් ක්‍රීඩක ජේ.පී. ඩුමිනිටයි. 20යි 20 ජාත්‍යන්තර තරග 76 කට ක්‍රීඩා කර ඇති ඩුමිනි, එහිදී අර්ධ ශතක 11 ක් සමග ලකුණු 1822 ක් රැස්කරගෙන ඇති අතර බිඳ හෙළා ඇති කඩුලු සංඛ්‍යාව 20 කි. ශ්‍රී ලංකා කණ්ඩායම මේ වසර තුළදී පන්දුවාර 20යි 20 තරග 6 කට ක්‍රීඩාකර ඇති අතර එහිදී බංගලාදේශයට එරෙහිව පැවති තරගය 4 න් තරග 2 ක් ජයගනිමින් තරග 2 ක් පරාජයට පත් විය. ඉන්දියාවට එරෙහිව පැවති තරග 2 න් එක් තරගයක් ජයගෙන සෙසු තරගය ශ්‍රී ලංකාවට පරාජය වීමට සිදුවිය. දකුණු අප්‍රිකාව මේ වසර තුළදී මෙතෙක් සහභාගි වී ඇත්තේ පන්දුවාර 20යි 20 තරග 3 කට පමණයි. ඉන්දියාවට එරෙහිව පැවැති එම තරග 3 න් 2 ක් ජයගත් දකුණු අප්‍රිකාව, සෙසු තරගය පරාජයට පත්විය. ශ්‍රී ලංකා සහ දකුණු අප්‍රිකාව පන්දුවාර 20යි 20 තරග බිමේදී අවස්ථා 9 කදී එකිනෙකා මුණගැසී ඇති අතර ඉන් තරග 5 ක් දකුණු අප්‍රිකා කණ්ඩායම ජයගෙන තිබේ. මෙරටදී ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව තරග 4 කදී එකිනෙකා මුණගැසී ඇති අතර ඉන් තරග 3 කම ජය හිමිවුණේ, දකුණු අප්‍රිකාවටයි. ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකා අතර පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය රාත්‍රී 7 ට ආරම්භ වේ.