මෙරට මුදල් නෝට්ටු මුද්‍රණ කිරීමට චීනයට ඇණවුම්

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක මුදල් නෝට්ටු මුද්‍රණ කිරීමට චීනයට ඇණවුම් - චීන මාධ්‍ය වාර්තා කරයි

by Staff writer 14-08-2018 | 8:24 PM
(News 1st) - ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකින් මුදල් නොට්ටු මුද්‍රණය කිරීමට තම රජයේ මුදල් මුද්‍රණ ආයතනය වෙත ඇණවුම් ලැබී ඇතැයි චීන මාධ්‍ය වාර්තා කරයි. චීන බැංකු නෝට්ටු මුද්‍රණ ආයතනයේ සභාපති ලී ගුයිෂෙන්ග් මහතා චීන මහ බැංකුව විසින් සම්පාදනය කරන මාසික සඟරාවකට පවසා ඇත්තේ, තමන් වෙත රටවල් ගණනාවකින් මුදල් මුද්‍රණය සඳහා ඇණවුම් ලැබී ඇති බව ය. ඒ අතර ශ්‍රී ලංකාව, නේපාලය, බංග්ලාදේශය, මැලේසියාව හා බ්‍රසීලය සිටින බව ද සඳහන් ය. චීන බැංකු නෝට්ටු මුද්‍රණය කිරීමේ ආයතනය ලෝකයේ විශාලම මුදල් නෝට්ටු මුද්‍රණ ආයතනය ලෙස සැලකේ. මේ සම්බන්ධව අප කළ විමසීමකදී ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කර සිටියේ, ශ්‍රී ලංකාව සඳහා අවශ්‍ය කිසිදු මුදල් මුද්‍රණය කිරීමක් චීනයේ සිදු නොකරන බව ය. චීනයේ මුදල් නෝට්ටු මුද්‍රණ සංස්ථාව සමග කිසිදු සබඳතාවක් නැති බව ද මහ බැංකු ප්‍රකාශකයා සඳහන් කර සිටියේ ය. මේ අතර ඉන්දියාව ද මුදල් නොට්ටු මුද්‍රණය කිරීම සඳහා මෙම චීන සමාගමකට අවසර ලබා දී ඇති බව අද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි. එම මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බව ඉන්දීය රජය මේ වන විට නිවේදනය කර තිබේ.