කාන්තා රැඳවියන් විරෝධය පළ කරන සැබෑ හේතුව කුමක් ද?

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් විරෝධය පළ කරන සැබෑ හේතුව කුමක් ද?

by Staff writer 14-08-2018 | 7:20 PM
COLOMBO (News 1st) - වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් පිරිසක් වහළය මත නැගී ආරම්භ කළ විරෝධය තවදුරටත් පැවැත්වේ. ඊයේ පෙරවරු 8.00ට පමණ කාන්තා රැඳවියන් පිරිසක් ඔවුන් රඳවා සිටින ගොඩනැගිල්ලේ වහළය මත නැග විරෝධතාවක් ආරම්භ කළේ තමන්ගේ නඩු විභාග කඩිනම් කරන ලෙස බලධාරීන්ට බල කරමිනි. එහෙත් බන්ධනාගාර අධිකාරිය පාර්ශවයෙන් ප්‍රකාශ කර සිටියේ, වැලිකඩ බන්ධනාගරයේ සිටි ජ්‍යේෂ්ඨ ජේලර්වරියක වූ දිස්නා කාරියවසම් මහත්මිය බදුල්ලට මාරු කර යැවීමට එරෙහිව රැඳවියන් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව ය. වහළය මත නැග සිටි රැඳවියන් කිහිප දෙනෙකු මෙම නිලධාරිනිය හඳුන්වන 'අම්මා' යන නමින් කෑ ගසනු අයුරු ද ඊයේ දර්ශනවල දැක ගත හැකි විය. කාන්තා රැඳවියන් ආරම්භ කර ඇති මෙම විරෝධය සම්බන්ධයෙන් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව්.එම්.එම්.අයි. අධිකාරි මහත්මියගෙන් විමසීමක් කළ අතර ඇය මාධ්‍යයට අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළා ය. බන්ධනාගාර නිලධාරීන් තවදුරටත් මාධ්‍යයට අදහස් දැක්වීමෙන් වැළකී සිටින්නේ අමාත්‍යංශයෙන් පනවා ඇති සීමා හේතුවෙනි.