වැලිකඩ කාන්තා රැඳවියන්ගේ ඇරඹූ විරෝධතාව තවදුරටත්

වැලිකඩ කාන්තා රැඳවියන්ගේ ඇරඹූ විරෝධතාව තවදුරටත්

by Sagarika Chathumali 14-08-2018 | 8:42 AM
Colombo (News 1st) : වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් පිරිසක් වහලය මතට නැගී ඊයේ උදෑසන ආරම්භ කළ විරෝධතාව තවදුරටත් ක්‍රියාත්මක වේ. වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 20 දෙනෙකු පමණ බන්ධනාගාරයේ වහලය මත නැග විරෝධතාවයේ නිරත වන්නේ ඊයේ උදෑසන සිටයි. තමන්ට එරෙහිව පවතින නඩු කඩිනමින් විභාගයට ගන්නා ලෙස ඉල්ලමින් ඔවුහු මෙලෙස විරෝධතාවයේ නිරත වෙති. කාන්තා රැඳවියන් පිරිසක් ආරම්භ කළ විරෝධතාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා නිලධාරියෙකු අද උදෑසන බන්ධනාගාරයට පිටත් කර යවන බව අධිකරණ අමාත්‍යාංශය පවසයි. එහි ලේකම් ඩබ්ලිව්.එම්.එම්.ආර් අධිකාරි මහත්මිය සඳහන් කළේ, විරෝධතාව අතහැර සාකච්ඡා සඳහා පැමිණෙන ලෙසට ඔවුන්ට දැනුම් දෙන ලෙසට තමන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට දැනුම් දුන් බවයි. ඔවුන් විරෝධතාව අත්නොහරින්නේ නම් කිසිදු සාකච්ඡාවක් නොපවත්වන බව ද ලේකම්වරිය සඳහන් කළේ ය. ලේකම්වරිය සඳහන් කළේ, මත්කුඩු ජාවාරමට සම්බන්ධ අය එම විරෝධතාවයේ යෙදී සිටින බවයි. සිද්ධිය සම්බන්ධයෙන් අප කළ විමසීමකදී බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල් දෙණිය මහතා පැවසුවේ, මේ පිළිබදව තමන්ට අමාත්‍යාංශයේ අවසරයකින් තොරව ප්‍රකාශයක් සිදුකළ නොහැකි බවයි. අමාත්‍යාංශ ලේකම්වරිය සඳහන් කළේ, එම බන්ධනාගාරයේ සේවය කළ මත්ද්‍රව්‍ය ජවාරමට සම්බන්ධ බවට චෝදනා එල්ල වන ජේලර්වරියකට ලබාදුන් ස්ථාන මාරුව හේතුවෙන්, සැලසුම් සහගතව මෙම විරෝධතාව ක්‍රියාත්මක කර ඇති බවයි. අදාළ චෝදනා එල්ල වන ජේලර්වරිය සම්බන්ධයෙන්, මේ වන විට විශේෂ පරීක්ෂණයක් ක්‍රියාත්මක කර ඇති බව අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරිය ප්‍රකාශ කළා ය. ඩබ්ලිව් එම් එම් අයි අධිකාරි මහත්මිය නිවුස්ෆස්ට් වෙත අදහස් දක්වමින් වැඩිදුරටත් සඳහන් කලේ, බන්ධනාගාර නිළධාරීන්ගෙන් බොහෝ දෙනෙකු අයථා මුදල් ඉපැයීම සම්බන්ධයෙන්, අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවට ද පැමිණිලි කිරිමට සිය අමාත්‍යාංශය සැලසුම් කරමින් ඇති බවයි. ඊට අදාළ විමර්ශන කටයුතු මේ වන විට ක්‍රියාත්මක බවද, ඇය පැවසුවා ය.