ධූරය අවභාවිත කළ අමරතුංග ගැන අගමැතිට පැමිණිල්ලක්

බිලියන 10ක ණයක් තමන්ටම අනුමත කර ගත් බැංකු අධ්‍යක්ෂ ගැන අගමැතිට පැමිණිල්ලක්

by Staff writer 14-08-2018 | 9:05 PM
COLOMBO (News 1st) - මහජන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ධූර කාලය අගෝස්තු 31 වන දා අවසන් වීමට නියමිතව තිබේ. මේ අනුව තමන් විධායක උප සභාපති ධූරය දැරූ සමාගමට රුපියල් බිලියන 10ක ණය පහසුකම් ලබා ගත් මහජන බැංකුවේ අධ්‍යක්ෂ ජෙහාන් අමරතුංග මහතාගේ නිල කාලය ද එදින අවසන් වනු ඇති. තමන් අධ්‍යක්ෂ ධූරයක් දරණ බැංකුවෙන් විධායක උප සභාපති ධූරය දරණ එම්.ටී.ඩී. වෝර්කර්ස් සමාගමට මෙතරම් විශාල ණය මුදලක් ලබා ගැනීම පිළිබඳව පසුගිය දිනවල බරපතල විවේචන එල්ල විය. මෙතරම් විශාල මුදලක් අනුමත කිරීමේදී බැංකුවේ විගණන කමිටුව විසින් අනුමත කළ යුතු අතර මහජන බැංකුවේ විගණන කමිටුවේ සභාපති ධූරය දැරුවේ ද ජෙහාන් අමරතුංග මහතා යි. ධූරය අවභාවිත කරමින් මෙවැනි ගනුදෙනු සිදු කිරීම සම්බන්ධයෙන් මෙම පුද්ගලයා පිළිබඳව ක්‍රියාමාර්ගයක් ගන්නැයි රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ද අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. මේ අතර මෙවැනි ණය මුදල් බැංකුවේ ණය කමිටුවට අනුමැතිය සඳහා යොමු කළ යුතු අතර බැංකු ඉතිහාසයේ පළමු වරට මහජන බැංකුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා එම කමිටුවට ඇතුළත් නොවී සිටීම ද විශේෂත්වයකි. නිල කාලය අවසන් වූ පමණින් ජෙහාන් අමරතුංගට හා ගනුදෙනුවලට සම්බන්ධ වූවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර නිදැල්ලේ පිටව යාමට ඉඩ දෙනවා ද? නොඑසේ නම් සිදු විය යුත්තේ මෙවැනි බරපතල ගනුදෙනු සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදු කර වගකිව යුත්තන් රටේ නීතිය හමුවට පැමිණවීම නොවේ ද?